ශ්‍රී ලංකාව තුල මානුෂීය ආධාර වැඩසටහන් හා සමාජ සේවා කටයුතු දියත්කරන විශාලතම හා ප්‍රමුඛතම සංවිධානය ලෙස සැලකෙන ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ, නුවර ශාඛාව, ඔවුන්ගේ ප්‍රථම තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය හා පරිඝනකාගාරය පසුගියදා ආරම්භ කළේය .
කුසලතා සංවර්ධන හා පුහුණු ජාත්‍යන්තර ආයතනයේ සහයෝගයෙන් හා එංගලන්තයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුවන ආචාර්ය සුරේෂ් ලෝපේස් මහතාගේ මූල්‍යාධාර සහිතව මෙම පුහුණු මධ්‍යස්ථානය හා පරිඝනකාගාරය නුවර රතුකුරුස කාර්යාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණ.
මෙම සමාරම්භක උත්සවයේදී දක්වමින්, ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙවැනි අභියෝගාත්මක කාලවලදී, වඩාත්ම වැදගත් වන්නේ , අවදානමට ලක්විය හැකි අය කොටස් හඳුනාගෙන ඔවුන් සවිබල ගැන්වීම වන බවයි . ආර්ථික අපහසුතා හා දුෂ්කරතා සහිත තරුණ තරුණියන් සහ දූ දරුවන් නඟා සිටුවීමට, මෙම පුහුණු මධ්‍යස්ථානය හරහා විශාල වැඩකොටසක් ඉටුකෙරෙනු ඇතැයිද අබේසිංහ මහතා මෙහිදී පැවසීය .
මෙම තරුණ තරුණියන් හා දූ දරුවන්වන්ගේ අනාගතය දීප්තිමත් කරලීම සඳහා ඔවුන් අත්‍යවශ්‍ය කුසලතාවලින් සන්නද්ධ කිරීමට ශ්‍රී ලංකා රතුකුරුසය දිගින්දිගටම කැපවීමෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය .
එසේම මෙම අතිශය වැදගත් ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් ආචාර්ය සුරේෂ් ලෝපේස් මහතා වෙත මෙන්ම කුසලතා සංවර්ධන හා පුහුණු ජාත්‍යන්තර ආයතනය වෙතද කෘතඥතාවය පිරිනමන බව අබේසිංහ මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.
මෙම තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන හා පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය,ඍජුවම ඉලක්ක කර ඇත්තේ ආර්ථික අර්බුදයන්ට ලක්ව ඇති තරුණ තරුණියන් හා දූ දරුවන් ඉලක්ක කරගෙනය. මහනුවර දිස්ත්‍රික්කයේ නාගරික, ග්‍රාමීය සහ වතුකරයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට තොරතුරු තාක්ෂණ පුහුණුව ලබා දීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුකෙරෙන විශේෂ කාර්යභාරයකි.

මෙම ව්‍යාපෘතියේ මූලික අදියරයන් යටතේ, පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසක් හරහා විහිදෙන පුළුල් පාඨමාලාවන් කිහිපයක්ම ආරම්භ කෙරේ. මෙම පාඨමාලා තුලින්, කාර්යාල යෙදුම්, ජාලකරණය, ග්‍රැෆික් නිර්මාණය, ශ්‍රව්‍ය සහ වීඩියෝ සංස්කරණය, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, දත්ත විශ්ලේෂණ, දත්ත විද්‍යාව, ඇතුළු විෂයයන් රැසක් දූ දරුවන්ට ඉගැන්වීමට සැලසුම් කර ඇත. මේ හරහා නවීන රැකියා වෙළඳපොළට ගැලපෙන ලෙස මෙම තරුණ තරුණියන් හා දූ දරුවන් සවි බලගැන්වීම ශ්‍රී ලංකා රතු කුරුසයේ අපේක්‍ෂාව වී ඇත.


