බදාදා, 21 පෙබරවාරි 2024 11:07

ත්‍රස්ත පනතේ ව්‍යවස්ථාවට පටහැනි වගන්ති Featured

සම්මත කරන්න නම් වගන්ති 2කට ජනමත විමසුමක් ඕනෑ

වගන්ති 5කට 2/3 බහුතරය ඕනෑ

පටහැනි බවෙන් මිදෙන්න සංශෝධන අවධාරණය කෙරේ
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කථානායක දැනුම් දෙයි
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි 72(1) හා 75(3) වගන්ති දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා ඊයේ (20දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එසේම කෙටුම්පතේ 3, 42, 53, 70, 83 (7) යන වගන්ති සඳහා ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර ඇත.

එසේ වුවද ඉහත වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධන සිදුකරන්නේ නම් එම අනනුකූලතාවයන් මගහැරී යන බවද තීන්දුවෙන් සඳහන් කර ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යම් පුද්ගලයකු රැඳවුම් භාරයේ තැබීමට කරනු ලබන නියෝගය 72(1) වගන්තිය යටතේත් යම් තැනැත්තෙකුට ගොනු කළ අධිචෝදනාවක් ඉල්ලා අස්කර ගැනීම (75(3) වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇත.

මෙයට අමතරව ත්‍රස්තවාදය පිළිබඳව වන වැරදි 3 වන වගන්තියෙන් රැඳවුම් භාරයේ සිටින සැකකරුවකු නියෝජනය කිරීමට නීතිඥවරයකුට අවස්ථාව ලබාදීම පිළිබඳව 42 වගන්තියෙන් යම් වාහනයක්, යාත්‍රාවක්, දුම්රියක් හෝ ගුවන් යානයක් නැවැත්වීම සඳහා පොලිසියට අවශ්‍ය බලය භාවිතා කිරීම පිළිබඳව 53 වන වගන්තියේ සඳහන්ව තිබේ.

72 (1) වගන්තිය
ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජාතික ආරක්‍ෂාවේ සහ මහජන සාමයේ යහපත උදෙසා එසේ කිරීම යෝග්‍ය බව ඔහුගේ මතය වන අවස්ථාවක සහ ඒ තැනැත්තා සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට වගබලා ගැනීම සඳහා මහාධිකරණය විසින් නිකුත් කරන විධිවිධානයන්ට යටත්ව ජාතික ආරක්‍ෂාවේ හා මහජන සාමයේ යහපත සැලකිල්ලට ගනිමින් මහාධිකරණය විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් කොන්දේසිවලට යටත්ව යම් බලධරයකුගේ භාරයේ යම් ස්ථානයක ඒ තැනැත්තා තැබීමට නියම කරනු ලැබිය හැකිය.

75 (3) වගන්තිය
නීතිපතිවරයා විසින් (1) වන උප වගන්තියේ නිශ්චිතව දක්වා ඇති පරිදි පනත දැක්වෙන කොන්දේසි එකක් හෝ වැඩි ගණනක් පනවනු ලැබිය හැකිය.

(අ) නීතිපතිවරයා විසින් නිකුත් කරනු ලබන භාෂා පාඨයක් භාවිත කරමින් මහාධිකරණය ඉදිරියේ ප්‍රසිද්ධ පසුතැවිල්ල ප්‍රකාශ කිරීම සහ සමාව ඉල්ලීම

(ආ) නීතිපතිවරයා විසින් නිශ්චිතව දක්වනු ලබන පරිදි වරදේ වින්දිතයන් හට හානිපූරණය ලබාදීම

(ඇ) නිශ්චිතව දක්වනු ලබන පුනරුත්තාපන වැඩසටහනකට ස්වෙච්ඡාවෙන් සහභාගි වීම

(ඈ) මේ පනත යටතේ හෝ වෙනත් නීතියක් යටතේ තමා වරද කිරීමෙන් වැළකෙන බවට ප්‍රසිද්ධියේ සහතික වීම

(ඉ) නිශ්චිතව දක්වනු ලබන ප්‍රජා හෝ සමාජ සේවයක නිරතවීම

(ඊ) යම් අධිචෝදනීය වරදක් හෝ සාමය කඩ කිරීමක් සිදු කිරීමෙන් වැළකීම

තුන්වන වගන්තිය – මහජනතාව හෝ එහි යම් කොටසක් බියගැන්වීමේ අරමුණින් යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදුකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීම හෝ යුද්ධය ව්‍යාප්ත කිරීමේ හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමේ හෝ ස්වෛරීබව කඩ කිරීමේ අරමුණින් සිදුකරන වැරදි ත්‍රස්තවාදය පිළිබඳ වරදක් වෙයි.

42 වගන්තිය
රිමාන්ඩ් භාරයේ තබා ඇති හෝ රඳවා ඇති සැකකරුවකු නියෝජනය කරන යම් නීතිඥවරයකුට පනතේ සාදන නියෝග මගින් නියම කර ඇති කොන්දේසි හා විධිවිධාන අනුව එවැනි තැනැත්තකු වෙත ප්‍රවේශ වීමට සහ එම තැනැත්තා නියෝජනය කිරීමට අයිතිවාසිකම තිබිය යුතුය.

රිමාන්ඩ් භාරයේ ඇති තැනැත්තෙකුට පනත අනුව එම තැනැත්තාගේ ඥාතීන් සමග සන්නිවේදනය කිරීමට අයිතිවාසිකම තිබිය යුතුයි.

53 වන වගන්තිය
යම් වාහනයක්, යාත්‍රාවක්, දුම්රියක් හෝ ගුවන් යානයක් හැර තැනැත්තෙකු පනතේ කාර්ය සඳහා ඒ වාහනය, යාත්‍රාව, දුම්රිය හෝ ගුවන් යානය නවත්වන ලෙස පොලිස් නිලධාරියකු හෝ ඔහුගේ ඉල්ලීම මත ක්‍රියාත්මක වෙනත් යම් තැනැත්තෙකු විසින් කරන යම් අණ කිරීමකට අවශ්‍ය නොවන අවස්ථාවකදී එම පොලිස් නිලධාරියා හෝ තැනැත්තා විසින් වාහනය නැවැත්වීමට අවශ්‍ය බලය භාවිත කරනු ලැබිය හැකිය.

එවැනි බලයක් භාවිත කළ හැකි වන්නේ එම වාහනය නතර කිරීමේ අන් සියලු ක්‍රියාමාර්ග නිරර්ථක වී ඇති බවට සනාථ වී ඇති අවස්ථාවක පමණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website