සිකුරාදා, 23 පෙබරවාරි 2024 12:14

රට පුරා හොර දොස්තරලා.. Featured

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නීතිවිරෝධි ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම.

රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය තුල වුවද ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට නම්, ආරක්ෂා කර ගත යුතු ප්‍රමිතීන් රාශියක් ඇත. මෙම ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවය අභියෝගයට ලක්වන අන්දමේ ප්‍රවණතාවයන් රාශියක් ඉස්මතු වෙන ආකාරය පසුගිය කාලයේදී දක්නට ලැබිණ.

වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගලයින්ගේ ක්‍රියාකාරීත්වය මෙන්ම වෛද්‍ය නිර්දේශ වලින් තොරව ඖෂධහල් හරහා රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමත්, ඒ හේතුවෙන් ජනතාවගේ ජීවිත අවදානමට ලක්වීමත් යන ගැටලු පසුගිය කාලයේදී දිනෙන් දින උග්‍ර වන ආකාරයක් නිරීක්ෂණය වෙයි.

ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව වෛද්‍යවරයෙකු ලෙස රෝගී ප්‍රතිකාර සේවාවන් වල නිරත වීමට නම්, අවශ්‍ය සුදුසුකම් සපුරා ගනිමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ ආයුර්වේද වෛද්‍ය සභාවේ හෝ හෝමියෝපති වෛද්‍ය සභාවේ පූර්ණ සහ වලංගු ලියාපදිංචිය ලබා තිබිය යුතුය. එසේ ලියාපදිංචි වී නොමැතිව වෛද්‍ය කර්මයේ යෙදෙන ඕනෑම පුද්ගලයකු ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස හඳුන්වනු ලබයි

 ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගල කාණ්ඩ කීපයක් දක්නට ඇත.

කිසිදු මූලික සුදුසුකමක් සපුරා නොමැතිව වෛද්‍යකර්මයේ යෙදීම
තමා ලියාපදිංචි වූ වෛද්‍ය කර්මය හැර වෙනත් වෛද්‍ය කර්මයන්හි ප්‍රතිකාර කටයුතු වල නිරත වීම
බටහිර වෛද්‍යකර්මයේ වෙනත් සේවක කාණ්ඩ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිම
පසුගිය කාලයේ සිදු කරන ලද විවිධ සමීක්ෂණ වලින් හෙලි වූ තොරතුරු වලට අනුව රට පුරා මෙවන් පුද්ගලයින් 40000 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී අයුරින් ජනතාවට ප්‍රතිකාර කටයුතු සිදු කරන බවට අනුමාන කරයි.

සාමාන්‍ය රෝග තත්ත්ව වල සිට බරපතල සංකූලතා සහිත රෝගී තත්ත්වයන් දක්වා මෙන්ම, ජීවිතයට පවා හානි විය හැකි නීති විරෝධී ගබ්සාවන්හි පවා මෙම පිරිස් නිරත වන බව මාධ්‍ය හරහා ද වාර්තා වී ඇත. ඊට අමතරව පිළිකා, වකුගඩු රෝග සහ හෘද රෝග ආදී තත්ත්වයන්ට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති විශේෂ ප්‍රතිකාර ක්‍රම ඇතැයි පවසමින් ජනතාවගෙන් විශාල වශයෙන් මෙම පිරිස් මුදල් වංචා කරමින් සිටින අතර, ජන ජීවිතද අවදානමකට ලක් කරමින් සිටීම බරපතල තත්ත්වයකි.

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දරිද්‍රතාවය හමුවේ අසරණ රෝගී ජනතාව ද මෙවන් පිරිස් වෙත යොමුවීම ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වී ඇත.

 මෙය නීති විරෝධි ක්‍රියාවලියක් වුව ද මෙම පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ගැටලු රාශියක් උද්ගතව ඇත. මෙබඳු ව්‍යාජ වෛද්‍යවරුන් වැටලීම, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීති විරෝධි ලෙස ප්‍රතිකාර සේවාවන්හි යෙදීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන පමණක් නොව මානව සම්පත ද නොමැතිවීම මෙම ගැටලුව උග්‍ර වීමට ප්‍රධාන හේතුවක් බවට පත් වී ඇත.

මෙම පිරිස් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලපාන පනත් කිහිපයක් පැවතියද, ඒ සියල්ලේම ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති වීම නිසා එම හිඩැස් හරහා ඔවුන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාජ වෛද්‍යවරුන් වැටලීමේදී සෞඛ්‍ය අංශ පමණක් නොව ශ්‍රී ලංකා පොලිසිය ද සම්බන්ධ විය යුතු අතර, ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිසා මෙම වැටලීම් සාර්ථකව සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු කාර්යභාරය ද නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන්, ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උග්‍ර වීමේ අවදානමක් මතු වී ඇත.

මෙම ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබාදීම සඳහා දුරකථන අංකයක් සහ තොරතුරු කවුළුවක් විවෘත කිරීම, අදාල නීති පද්ධතිය ශක්තිමත් කිරීම, වැටලීම් සිදු කිරීමට බලය ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් ඇතුළු කණ්ඩායම් බලාත්මක කිරීම ආදී යෝජනා ගණනාවක් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප ලබා දුන්න ද, සෞඛ්‍ය අමාත්‍යාංශය සුපුරුදු මන්දගාමී අයුරින් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයකි.

 මීට අමතරව වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඖෂධහල් හරහා සෘජුවම ජනතාවට ඖෂධ ලබාදීම ද, ජන ජීවිත අවදානමකට ලක් කරමින් ඉහළ යන ප්‍රවණතාවයක් බවට මේ වන විට පත්ව ඇත. පෞද්ගලික ඖෂධහලකින් සීමිත ඖෂධ වර්ග කීපයක් හැර අනෙකුත් ඕනෑම ඖෂධයක් රෝගියෙකුට ලබා දිය හැක්කේ නියමිත හා පිළිගත් වෛද්‍ය නිර්දේශයක් මත පමණි.

ඖෂධයක් නිර්දේශ කිරීමේදී රෝග ලක්ෂණ පමණක් නොව රෝගියාට අදාල තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සලකා බැලිය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය දැනුම, වගකීම මෙන්ම නීත්‍යානුකූල බලය ඇත්තේ වෛද්‍යවරයෙක්ට පමණි. ඖෂධහලක සේවය කරන ඖෂධවේදියෙකුට, ඖෂධ සංයෝජකයෙකුට හෝ වෙනත් කිසිදු සේවකයෙකුට එවන් නීත්‍යානුකූල බලයක් හෝ දැනුමක් කිසිසේත්ම නොමැත.

එසේ වුව ද රට පුරා බොහෝ ස්ථාන වල වෛද්‍ය උපදෙස් හෝ නිර්දේශයකින් තොරව, නීති විරෝධී අයුරින් ඖෂධ වෙලඳසැල් හරහා රෝගීන්ට ඖෂධ ලබාදෙන බව තොරතුරු ලැබෙන අතර එමඟින් ජන ජීවිත වලට සිදුවන හානිය අතිමහත්ය.

මෙවන් ඖෂධහල් වසා දැමීම, බලපත්‍ර අහෝසි කිරීම, එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ආදී නීතිමය ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකියාව තිබුනද, ඒවා ක්‍රියාත්මක වන්නේ ඉතා අවම වශයෙන්ය. මීට අමතරව එම ඖෂධහල් වල සේවය කරන පුද්ගලයින් ජනතාවට ඖෂධ නිකුත් කිරීම සඳහා නියමිත සුදුසුකම් සපුරා තිබේ ද යන්න සොයා බැලීම ද අත්‍යවශ්‍ය කරුණකි. ජනතාව විශාල අවදානමක සිටිය ද, විවිධ හේතු මත මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් දිනෙන් දිනම ප්‍රමාද වීම හරහා මෙම පිරිස් වලට රැවටෙන ජනතාවට ඇතිවන අහිතකර ප්‍රතිඵල ද ඉහළ යමින් පවතී.

 විවිධ හේතු මත ඉහත සඳහන් කණ්ඩායම් වලට එරෙහිව නීති සම්පාදනය සහ නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාණවත් කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක නොවීම නිසා, එම ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවන ජනතාව දිනෙන් දිනම ඉහළ යමින් පවතී.

මෙම ගැටලු ද්විත්වය හේතුවෙන් අසරණ රෝගී ජනතාවගේ ජීවිත අවදානම ද ඉහළ ගොස් ඇති අතර, මෙම ජාවාරම්කරුවන්ට රැවටී තමන්ගේ ජීවිතය පමණක් නොව මුදල් ද විනාශ කර ගනිමින් පවතී.

මෙරට සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ අර්බුද ගණනාවකට මුහුණ දෙමින් සිටිය ද, මෙම ගැටලුවේ සැබෑ ස්වභාවය හඳුනා ගනිමින් එය පිටු දැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතු බව අප විශ්වාස කරන අතර, ඒ වෙනුවෙන් ඕනෑම සාධනීය සහයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව ඉදිරිපත් වන බව අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website