බදාදා, 22 පෙබරවාරි 2023 20:04

විද්‍යුත් තරාදියට එරෙහිව වතු කම්කරුවන් විරෝධතා…. Featured

බගවන්තලාව වැවිලි සමාගම යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු කිහිපයකම වතු කම්කරුවන් තේ දළු කිරන විද්‍යුත් තරාදිය භාවිතයෙන් ඉවත් කරන ලෙස වතු පාලන අධිකාරියට බල කරමින් (22) දින කොටියාගල තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

දිනක රු 1000 ක වැටුපට වතු කම්කරුවෙකු අමු තේ දළු කිලෝ 18 ක් නෙලිය යුතු බවත්, තමන් දිනකට නෙලන තේ දළු විද්‍යුත් තරාදියෙන් කිරා භාර ගැනිමේදි වතු පාලන අධිකාරිය විසින් තමන් නෙලන අමු තේ දළු ප්‍රමාණය අඩුවෙන් පෙන්වන බවත්, ඒ අනුව එම තරාදියෙන් දිනකට අමු තේ දළු කිලෝ පහක් පමණ වතු පාලන අධිකාරිය ඉතා සුක්ෂම ලෙස තමන්ගෙන් ලබා ගන්නා බවයි උද්ඝෝණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.
දින තුනක් වැඩ වර්ජනය කරමින් (22) දින කොටියාගල තේ වත්තේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ විද්‍යුත් තරාදිය වතු පාලන අධිකාරියට අවශ්‍ය පරිදි සකස් කර අමු තේ දළු කිරා භාර ගන්නා බවත්, එම තත්ත්වය මත තමන් උදැසන සිට තේ වත්තේ වැඩ කරමින් නෙලා ගන්නා අමු තේ දළු කිලෝ විශාල ප්‍රමාණයක් වතු පාලන අධිකාරිය විසින් මෙසේ වංචා සහගතව හොරට කිරා ලබා ගන්නා බවයි.

විද්‍යුත් තරාදියට ප්‍රථම වතු ආශ්‍රිතව භාවිතා කල පැරණි තරාදිය නැවතත් අමු තේ දළු කිරිම සදහා භාවිතා කරන ලෙසත්, එසේ පැරණි තරාදිය භාවිතා කරන තෙක් තමන් තේ වත්තේ දෛනික වැඩ කටයුතු වලට වාර්තා නොකරන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.

තේ වතු සමාගම් විසින් දැනට භාවිතා කරන විද්‍යුත් තරාදිය සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිති විසින් නුවරඑලිය දිස්ත්‍රිත් කිරුම් මිනුම් පාලකවරයාට කල පැමිණිල්ලක් මත එම නිලධාරින් පසුගිය දා බගවන්තලාව ප්‍රදේශයේ තේ වත්තකට පැමිණ අමු තේ දළු නෙලිම සදහා භාවිතා කරන විද්‍යුත් තරාදියක් පරික්ෂා කිරිමේදි එම තරාදිය වසර කිහිපයකින් මුද්‍රා තබා නොමැති බවට තහවුරු වු බවයි වතු වෘත්තිය සමිති කියා සිටින්නේ.

අප මේ සම්බන්ධයෙන් බගවන්තලාව වැවිලි සමාගමේ ජෙෂ්ඨ වතු අධිකාරිවරයෙකුගෙන් කල විමසුමට එම නිලධාරියා කියා සිටියේ තේ දළු නෙලන වතු කම්කරුවන්ගෙන් අමු තේ දල්ලේ පවතින තෙතමනය වෙනුවෙන් දිනකට අමු තේ දළු කිලෝ ප්‍රමාණයක් වතු පාලන අධිකාරිය විසින් ලබා ගන්නා බවත්, එම ක්‍රමය දිගු කාලයක් තේ වතු පාලන අධිකාරිය මගින් සිදු කරගෙන පැමිණි බවයි එම නිලධාරියා කියා සිටියේ.

වතු කම්කරුවෙකුගෙන් දිනපතා කිරා ලබා ගන්නා අමු තේ දළු ප්‍රවාහනයේදි තේ දල්ලේ තෙත් බර අඩු වන නිසා එම ක්‍රමය අනුගමනය කරන බවත්, වතු කම්කරුවන් චෝදනා කරන පරිදි දිනකට විශාල අමු තේ දළු ප්‍රමාණයක් කපා නොගන්නා බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website