ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගැන්වීය.
1971 වර්ෂයේ උපත ලද දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1998.02.23 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් සේවයට එක්ව 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරට ද උසස්වීම් ලබා ඇත. අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වී 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්වීම් ලබන අතර, 2019.12.05 දින සිට වසර 04කට ආසන්න කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. 2023.11.29 වන දින සිට පොලිස්පතිවරයා ලෙස පත්වන තුරු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඒ මහතා රාජකාරි සිදු කළේය.
වසර 26ක සේවා කාලය තුළ දකුණු පළාතේ ගාල්ල, මාතර උතුරු පළාතේ වව්නියාව, නැඟෙනහිර පළාතේ කන්තලේ, බස්නාහිර පළාතේ ගම්පහ, නුගේගොඩ සහ කැලණිය යන ප්‍රදේශයන්හි රාජකාරි කරමින් ක්‍ෂේත්‍ර රාජකාරින් පිළිබද මනා අවබෝධයක් මෙන්ම විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් රාජකාරිමය වශයෙන් මනා අත්දැකීම් ලබා ඇති ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සහ කැලණි විශ්වවිද්‍යාලයේ ශ්රාස්ත්රපති උපාධිය හදාරා ඇති අතර, 2006 වර්ෂයේදී එක්සත් ජනපදයේ ලුසියානා පොලිස් ඇකඩමිය මඟින් පවත්වන ලද පශ්චාත් පිපිරුම් විමර්ශන පුහුණු පාඨමාලාව, 2008 වර්ෂයේදී දකුණු කොරියානු පොලිස් පරිපාලන පුහුණු පාඨමාලාව, 2016 වර්ෂයේ දී චීනයේ යුනාන් පොලිස් ඇකඩමියේදී පවත්වන ලද ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ පුහුණු පාඨමාලාව, 2019 වර්ෂයේදී නැඟෙනහිර ටිමෝරයේදී පවත්වන ලද ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පුහුණු පාඨමාලාව ආදී තවත් පාඨමාලා රැසක් හදාරා ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා 2011 වර්ෂයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැති විශේෂ සේවා සහ නීතිය ක්‍රියාත්මක කරන සංවිධානවල ප්‍රධානීන්ගේ සමුළුව, 2019 වර්ෂයේදීම තායිලන්තයේ බැංකොක්හිදී පවත්වන ලද මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා වන ආසියා සහ පැසිෆික් කලාපයේ ප්‍රධානීන්ගේ සමුළුව ආදී සමුළු සඳහා ද, 2013 වර්ෂයේදි ඉන්දියාවේ නව දිල්ලි නුවර දී පැවත්වූ මිනිස් ජාවාරම් විරෝධී ඒකකවල අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා වන SAARC රාජ්‍ය සාමාජික රටවල් සඳහා වූ වැඩමුළුව ඇතුළු තවත් දෙස් විදෙස් වැඩමුළු රැසකට සහභාගී වී තිබේ.
DMN