බදාදා, 28 පෙබරවාරි 2024 08:25

හිටපු මුදල් ඇමැති රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි Featured

අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) රාත්‍රීයේ ඒ මහතා මියගිය බව පවුලේ ඥාතීන් පවසන අතර 1925 වසරේ අප්‍රේල් මස 11 දා මොරටුවේ දී උපත ලැබූ රොනී ද මැල් මහතා මිය යනවිට 99 වැනි වියේ පසුවිය.

ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා තිබෙන ඒ මහතා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබේ. අතිදක්‍ෂ පරිපාලන නිලධාරියකු වූ මැල් මහතා ඉන් අනතුරුව ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

1977 සිට 1988 දක්වා මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රොනී ද මැල් මහතා නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා විය. 2004 වර්ෂය දක්වා ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. 1960 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ වන ඒ මහතා 1965 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බිබිල ආසනයට තරග කළේය. පසු කලෙක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ මැල් මහතා 1977 මැතිවරණයේ දී දෙවිනුවර ආසනයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් විය. රොනී ද මැල් මහතා රජයේ අය-වැය ලේඛන 11ක් ඉඳිරිපත් කළ අතර විවෘත ආර්ථිකය ඇති කිරීමේ පුරෝගාමියා ද වූයේය. 2005 වසරේ දී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගත් රොනී ද මැල් මහතා 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කළේය.

මිය යනවිට 99 වැනි වියේ පසුවූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website