රතු මුහුදේ දකුණු යේමනය ආසන්න මුහුදු සීමාවේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල වූ හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකින් නැවේ කාර්ය මණ්ඩලයේ තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි අමෙරිකාව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි ද, ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව ද අමෙරිකාව වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ. රතු මුහුදේ හවුති ප්‍රහාරයකින් ජීවිත හානි සිදු වූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මිය ගිය අය අතර පිලිපීන ජාතිකයන් දෙදෙනකු සිටින බවත්, තවත් පිලිපීන ජාතිකයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවත් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පිලිපීනයේ සංක්‍රමණික සේවකයන්ගේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයට ලක් වූ True Confidence නමැති එම නෞකාවේ 20 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට අමතරව ආරක්ෂාව සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සහ නේපාල ආරක්ෂක නිලධාරියකු ආයුධ සන්නද්ධව සිටි බව ද වාර්තා වේ. ප්‍රහාරයෙන් පසු නෞකාව අතහැර ජීවිතාරක්ෂක බෝට්ටු මගින් මුහුදට බට නෞකාවේ සිටි සෙසු සාමාජිකයන් බේරාගත් බව ඉන්දීය නාවික හමුදාව නිවේදනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. හෙලිකොප්ටර් සහ බෝට්ටු මගින් රතු මුහුදට පැමිණි ඉන්දීය නාවික හමුදාව එම මෙහෙයුම සිදු කළ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. බේරාගත් අය අතර ඉන්දීය ජාතිකයකු සහ විදෙස් ජාතිකයන් 20 දෙනකු සිටින බව ද වාර්තා වේ. ඒ අතුරින් තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ට වෛද්‍යාධාර ලබා දී ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නැගෙනහිර අප්‍රිකානු රටක් වන ජිබෝටි රාජ්‍යය රැගෙන ගොස් ඇතැයි ඉන්දීය නාවික හමුදා නිවේදනය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.
ජීවිතක්ෂයට පත්වූ සෙසු පුද්ගලයා හෝ තුවාල ලැබූ සෙසු පුද්ගලයන්ගේ අනන්‍යතාව මෙතෙක් වාර්තා වී නැති අතර, නැවේ කාර්ය මණ්ඩලයට පිලිපීන ජාතිකයන් 15 දෙනකු, වියට්නාම ජාතිකයන් තිදෙනකු සහ එක් ඉන්දීය ජාතිකයකු ඇතුළත්ව සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ.
පෙරේදා පස්වරුවේ සිදු වූ මේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ ලයිබිරියාවේ ධජය සහිතව යාත්‍රා කරමින් තිබූ බාබඩෝස් දූපත් රාජ්‍යයට අයත් නෞකාවක් බවත්, එය ග්‍රීසියේ නැව් සමාගමක් විසින් කුලියට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත් වාර්තා වේ. එම නෞකාව චීනයේ සිට සෞදි අරාබිය දක්වා වානේ නිෂ්පාදන රැගෙන යාත්‍රා කරමින් තිබූ බව නෞකා ගමනාගමන දත්ත වාර්තා මගින් පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පලස්තීනයේ ජනතාවට ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම බාරගන්නා බවට හවුති කැරැලිකරුවන් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇතැයි ද, ප්‍රහාරය එල්ල කිරීමට පෙර එම නෞකාවට අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නෞකාවේ ගමන් මාර්ගය වහාම වෙනස් කරන ලෙසට යේමනයේ නාවික හමුදාවෙන් බව කියමින් හවුති කැරලිකරුවන් ප්‍රහාරයට පෙර රේඩියෝ පණිවුඩයක් යවමින් ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
DMN