බදාදා, 13 මාර්තු 2024 08:19

NSBM වෛද්‍ය පීඨයට කැබිනට් අනුමැතිය වසරකදී දේශීය-විදේශීය සිසුන් 500ක් බඳවා ගැනීමට පියවර Featured

හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් කිරීමේ ජනපති යෝජනාවත් අනුමත වෙයි

සියයට සියයක් රාජ්‍ය අයිතිය යටතේ ක්‍රියාත්මක වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයේ (NSBM) වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට හා උපාධි පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙත් පූර්ණ අධීක්ෂණය හා නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට ද අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ සඳහා සායනික පුහුණුව ලබා දීමට හෝමාගම රෝහල මහාචාර්ය ඒකකය සහිත රෝහලක් ලෙස උසස් තත්ත්වයට පත් කිරීමට අනුමැතිය ලබා දුන් බව ඒ මහතා කියා සිටියේය.

එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවා ගැනීමට අපේක්ෂිත බව ද ඇමැතිවරයා කීවේය.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීමට NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය දැනටමත් දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

රටේ බොහොම දෙනෙක් දන්න පරිදි හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ පිටිපන ග්‍රාමයේ, ඩලස් අලහප්පෙරුම වෘත්තීය පුහුණු කටයුතු ඇමැතිවරයා වශයෙන් සිටියදී NSBM ආයතනය ආරම්භ කළේ සියයට සියයක් රාජ්‍ය අයිතිය යටතේ උපාධි ප්‍රදානය කරන හරිත විශ්වවිද්‍යාලය වශයෙන්. ඒ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් කුලපතිවරුන්ගේ කැපවීමෙන් රාජ්‍ය අරමුදල් භාවිත නොකොට ඉතා විශිෂ්ට තත්ත්වයේ විශ්වවිද්‍යාලයක් නිර්මාණය කරගෙන මේ වන විට දේශීය හා විදේශීය දරුවන් 12,000ක් පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. උපාධිධාරීන් විශාල පිරිසක් පිටවෙනවා. දේශීය හා විදේශීය රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් වශයෙන් බොහෝ දෙනෙක් එතැන රැකියාවලට ගමන් කරනවා. අද අපේ රටේ ප්‍රධාන ගැටලුවක්ව පවතින්නේ උග්‍ර විදේශ විනිමය අර්බුදයක් තිබියදී වෛද්‍ය උපාධි ලබා ගැනීම සඳහා ඉතා විශාල පිරිසක් ලංකාවෙන් පිටරට යන නිසා විශාල විනිමය ප්‍රමාණයක් ඇදී යනවා. ඒ නිසා සියයට සියයක් රාජ්‍ය අයිතිය යටතේ තිබෙන NSBM එකට අධ්‍යාපන අමාත්‍යාංශයෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙත් පූර්ණ අධීක්ෂණය, නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා.

ඒ සඳහා සායනික පුහුණුව ලබා දෙන්න හෝමාගම රෝහල මහාචාර්ය ඒකකය සහිත රෝහලක් ලෙස උසස් තත්ත්වයට පත් කරන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නා.

දැනට පළාත් සභාව යටතේ පවතින හෝමාගම රෝහල විශාල සේවාවක් ඉෂ්ට කරන මූලික රෝහලක් වුවත් එහි කළුබෝවිල කොළඹ මහ රෝහල වගේ දියුණු තත්ත්වයට මහාචාර්ය ඒකක නැහැ. මේ තීරණයත් සමඟ රජයේ වියදමකින් තොරව NSBM එක සම්පූර්ණ වියදම දරලා ඒ වෛද්‍යවරු පුහුණු කිරීම සඳහා සායනික පුහුණුව ලබා දෙන්න අවශ්‍ය කරන මහාචාර්ය ඒකකයක් ඇතුළු යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැඟිලි හෝමාගම රෝහලට එකතු කරන්නත් මේ තුළින් හැකියාව ලැබෙනවා.

මේ තීරණය සම්බන්ධයෙන් වඩාම සතුටට පත්වෙන කැබිනට් ඇමැතිවරයා මම. මම හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන නිසා.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website