බදාදා, 20 මාර්තු 2024 08:51

පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරන ක්‍රමයේ වෙනසක් Featured

ඇමැති විජයදාස කැබිනට්ටුවට ගෙනා යෝජනාවට අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම පිණිස දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව රජය මඟින් හඳුනාගෙන ඇත. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඒ අනුව එම කමිටුව මඟින් නිර්දේශ හා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරා පත්කර ගැනීමටත් ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික සහ පළාත් මට්ටමින් තෝරා ගැනීමටත් එකී කමිටුව වෙත අදහස් ඉදිරිපත් කර ඇති බවත් බහුතරයක් ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවත් සඳහන්ය. ඒ අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඇමැති මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) පැවැති කැබිනට් හමුවේදී එම යෝජනාවට අනුමැතිය පළ වී තිබේ.

නුවන් කොඩිකාර

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website