සිකුරාදා, 22 මාර්තු 2024 06:12

මාතර ගංවතුරට කඩිනම් විසඳුම් ලබාදිය යුතුයි - එක්සත් ජනරජ පෙරමුණ Featured

ගංවතුරෙන් සහ ජලගැලීම් වලින් පීඩාවට පත්වන මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කඩිනම් ක්‍රියා මාර්ග දෙකක් ගන්නැයි එක්සත් ජනරජ පෙරමුණු සභාපති විශේෂඥ වෛද්‍යය අජිත් අමරසිංහ මහතා ඉල්ලයි.

නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදි කරන ලද ලවණ බාධකය නිසා ගැටලු රැසක් මතුව තිබේ. නිල්වලා ගඟ පිටාර ගැලීමේදී ජලය දිගු කලක් රැඳී තිබීම එක් ගැටලුවකි. වැසි ජලයද ලවණ බාධකය හේතුවෙන් ආශ්‍රිත ප්‍රදේශවල එක් රැස් වී දිගු කාලයක් පැවතීමේ තත්ත්වයක් මතුවී තිබේ. ඉන් ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට දැඩි ගැටලු මතුවන බව අමරසිංහ මහතා පෙන්වා දෙයි. ගැටලුව විසඳීම සඳහා කඩිනමින් ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබේ. ලවණ බාධකය ආශ්‍රිතව ජලය බැස යන මාර්ගයක් නිර්මාණය කිරීම එක් ක්‍රියාමාර්ගයකි. දැනට  ලවණ බාධකයට පසෙකින් මීටර් තිහක් පමණ පළල ජලය බැස යන මාර්ගයක් තිබේ. ජල ගැටලුව විසඳීමට එය ප්‍රමාණවත් නොවන අතර  මීටර් අනූවක් දක්වා ම එය පළල් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණු සභාපතිවරයා පෙන්වා දෙයි. ගංවතුර සහ ජල ගැලීම් හේතුවෙන් වගා හානි වලට මුහුණ දුන් ගොවින් වෙත වන්දි ප්‍රදානය දෙවන ක්‍රියාමාර්ගයයි.

ක්‍රම සහ විධි කාරක සභා සභාපතිවරයා ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාතර ගංවතුරට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව උපදෙස් නිකුත් කර තිබේ. එයද අවධානයට ගනිමින් අමරසිංහ මහතා කියා සිටින්නේ ගංවතුරෙන් මාතර දිස්ත්‍රික් ජනතාව ගලවා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි. රුපියල් බිලියන තුනක් වියදම් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉදි කරන ලද ලවණ බාධකයත් සමග මාතර, අකුරැස්ස, කඹුරුපිටිය ආසනවලට දැඩි අයහපත් ප්‍රතිඵල අත් වූ බවද හෙතෙම අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය.මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ගමනාගමනයට, ව්‍යාපාර වලට සහ ගොවිතැන් වලට ජල ගැලීම් වලින් දැඩි ගැටලු මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මණ්ඩල සාමාජික  ගාමිණි ශාන්ත මහතා පෙන්වාදෙයි.  ඒ  හේතුවෙන් සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරිකයෝ දැඩි පීඩාවකට ලක්ව සිටිති. ශාන්ත මහතා කියා සිටින්නේ ලවණ බාධකයේ ඉදිකිරීම් නිවැරදි ප්‍රමිතියට සිදු කර නොමැති බවයි. ඒ නිසා වැසි වතුරද ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව දිගු කාලයක් රැඳී තිබීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත. එහි අයහපත් ප්‍රතිඵල මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ  සහ මාතර ප්‍රදේශවලට බලපාන බවද ශාන්ත මහතා පෙන්වාදෙයි. මැයි මාසයේ දී නැවත වැසි ඇතිවෙයි. එහිදී ද ජනතාවට ගැටලු මතුවිය හැකිය. ඒවා වැළැක්වීමට ජල සම්පාදන මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවද ශාන්ත මහතා අවධාරණය කළේය.

ජලගැලීම් නිසා නිල්වලා ගඟට කෘෂි හා කෘමි නාශක එක්වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා විධායක කමිටු සාමාජික ලක්ෂ්මි කොඩිතුවක්කු මහත්මිය පවසයි. එම ජලය පිරිසිදු කර මාතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහා භාවිත කෙරේ. එහෙත් පූර්ණව පිරිසිදු කිරීමට හැකියාවක් නොමැති බවට මත පලවී තිබේ. මාතර දරුවන් විවිධ රෝගාබාධවලට ලක්වීමේ ප්‍රවණතාවක් තිබේ. එය අපිරිසිදු ජලය හේතුවෙන් විය හැකි යැයි විශ්වාස කෙරේ. නිල්වලා ගඟෙහි දූෂණය පාලනයට බලධාරීන් අවධානය යොමු කළ යුතු යැයි, කොඩිතුවක්කු මහත්මිය පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website