ඉරිදා, 24 මාර්තු 2024 13:54

කට වැරදුන සිරිසේන වැලිකඩට.. දයාසිරි ඩාලි පාරට.. Featured

පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිලිවෙලක්, ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ (23) උත්තර ලංකා සභාව විසින් මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී පවත්වන ලද ජන සමුළුවක් අමතමිනි.

“77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!” යන තේමාව යටතේ පැවති මෙම ජන සමුළුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

පුද්ගලාභිවන්දන යුගයක නිමාව

අද අපි මහරගමට ආවේ ශ්‍රී ලාංකික දේශපාලනයේ එක යුගයක් නිමා කරලා නව යුගයක් ආරම්භ කරන්න සූදානම් කියන්නයි. අපි නිමා කරන්නේ පුද්ගලාභිවන්දන යුගයයි. නායකයෝ හදලා නායකයෝ රට හදාවි කියලා බලාපොරොත්තු වෙන යුගයයි. එක එක නායකයන්ට කඩේ ගිය යුගයයි. අපි හදන්නේ වැඩපිලිවෙලක් රජ කරවන යුගයයි. ප්‍රතිපත්තියක් රජ කරවන යුගයයි.

සිරිසේන වැලිකඩට – දයාසිරි ඩාලි පාරට

නායකයෝ හදලා නායකයෝ ජනතාවගේ බලාපොරොත්තු කුඩු පට්ටම් කරලා දාලා ජනතාව දැන් හති වැටිලා ඉන්නේ. 2015 දී යහපාලනයක් හදන්න සිරිසේන මහත්තයා ගෙනාවා. ආණ්ඩුව බලයට ඇවිත් මාස දෙකක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කලා. ඒ විතරක් නොවේ ජාතික ආරක්ෂාව බිංදුවට වට්ටලා පාස්කු ප්‍රහාරය සිදු වුණෙත් ඔය යහපාලන කාලයේ දීම තමයි. දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා. අධිකරණය නියෝග කලොත් තොරතුරු හෙලි කරනවා කියලා. හිටපු ජනාධිපතිතුමනි. අපරාධයක තොරතුරු හෙලි කරන්න ඕනි පොලිසියට මිස උසාවියට නොවේ. විමර්ශන කරන්නේ පොලිසිය. ඒ නිසා වහාම ගිහින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම වරදක්. ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණයක් ත්‍රස්තවාදි ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන ඊටත් වඩා බරපතල වරදක්. වසර දහයක සිර දඬුවමක් ලබා දිය හැකි වරදක්. දයාසිරි ජයසේකර මැතිතුමනි, සිරිසේන මහත්තයා වැලිකඩට යන කොට ඩාර්ලි පාරට ගිහින් නායකත්වය භාර ගන්න දැන් ලැහැස්ති වෙන්න.

 සිරිසේන මහත්තයා ගෙදර යවලා සෞභාග්‍ය ඇති කරන්න කියලා ගෝඨාභය මහත්තයා ගෙනාවා. එයාගේ අතීත ප්‍රගති වාර්තාව හොඳ නිසා ඇත්තටම සෞභාග්‍ය ගෙනේවි කියලා ලක්ෂ 69ක් ජනතාව හිතුවා. අන්තිමට මොකද වුණේ? එයා ඇමෙරිකානුවෝ දෙන්නෙකුට යට වුණා. එයා රට පාලනය කලේ ලක්ෂ 69 සිතුම් පැතුම් ඉටු කරන්න නොවේ. බැසිල් රාජපක්ෂ ජූලියා චං කියන ඇමෙරිකානුවන් දෙන්නාගේ සිතුම් පැතුම් ඉටු කරන්න.

ලංකා ඉතිහාසයේ ලොකුම පාවා දීම

ගෝඨාභය රාජපක්ෂ තමයි ලංකා ඉතිහාසයේ ලොකුම පාවා දීම කලේ. අපි පසුගිය වසර 30ක් දේශපාලනය කලේ රනිල්ට විරුද්ධව. අපි ඒකාබද්ධ විපක්ෂය හැදුවේ රනිල් එලවන්න. අපි ගෝඨාභය ඡන්දයට දැම්මේ රනිල් එලවන්න. ලක්ෂ 69ක් ජනතාව ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල් එලවන්න. එයාට බැරි නම් එයා ගෙදර ගියාට අපට කමක් නෑ. නමුත් අපේ ප්‍රධානම සතුරා රනිල්ට අපි මහන්සියෙන් එලවා ගත්ත රනිල්ට ආණ්ඩුවේ නායකත්වය භාර දීම තරම් පාවා දීමක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ.

 ගෝඨාභය අතරමං කළ ලක්ෂ 69. ගෝඨාභය කුඩුපට්ටම් කරපු ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න රනිල්ට බෑ. ඒ වගේමයි. පසුගිය ජනපතිවරණයට ගෝඨා එක්ක ඡන්දය ඉල්ලුවේ සජිත් ප්‍රේමදාසයි අනුර කුමාරයි. මේ ලක්ෂ 69 ගෝඨාභයට ඡන්දය දුන්නේ සජිත් අනුර දෙන්නාවම එපා කියලා. ඒ නිසා ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න මේ දෙන්නටත් බෑ. ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න. මව්බිමට ආදරය කරන ජනතාවට නායකත්වය දෙන්න ඩොලර් වලට විකිණිලා මේ මව්බිම පාවා දෙන දේශද්‍රෝහින්ට එරෙහිව සටන් කරන්න අපේ මුතුන් මිත්තන් දිවි පුදා අපට රැක දුන් උරුමය ඊ ලඟ පරම්පරාව වෙනුවෙන් රැක ගන්න අපි නැවුම් සංධානයක් අපි බිහි කරනවා.

අපට නැවුම් සංධානයක් ඕනෑ ඇයි?

අද කොලපාට බෝතලයේ තිබෙන වසමයි ගුරු පාට බෝතලයේ තිබෙන්නේ. ගුරු පාට බෝතලයේ තිබෙන වසමයි රතු පාට බෝතලයේ තිබෙන්නේ. ඒ නිසා බෝතලයේ පාට මාරු වුණාට බෝතලේ තිබෙන දේ මාරු වෙලා නෑ. මොන පාට බෝතලයෙන් පෙව්වත් පොවන්නේ වස නම් ලක් මෑණියන් මැරෙනවා. සත්තයි.

 බෝතලයේ මාරු කරනවා වෙනුවට බීම මාරු කරන්න වෙලාව ඇවිත්. අද ජනපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න සෑම අපේක්ෂකයෙකුම එකිනෙකාට බැන අඬ ගැහුව්වත් එකිනෙකාට චෝදනා කළත් මේ ආර්ථික අර්බූදයෙන් රට ගොඩ නගන වැඩ පිලිවෙල කියන්නේ නෑ. ආණ්ඩුව විවේචනය කලාට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නෑ. හැමෝම ඉන්නේ 1977 සිට ක්‍රියාත්මක කරලා මේ රටේ නිෂ්පාදනය විනාශ කරපු නව ලිබරල් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනි යන්න. අද අපි මොනවාද අපේ දේවල් පාවිච්චි කරන්නේ. උදේ දත් මදින බුරුසුව චීනයේ. දත් බෙහෙත් ඉන්දියාවේ. තුවාය ඉන්දුනීසියාවේ. කමිසය තායිලන්තයේ හාල් ටික බුරුමයෙන් නැතිනම් පකිස්තානයෙන්. ළඟ දී ඉඳන් බිත්තරෙත් ඉන්දියාවෙන්. අපි කන එළවළු ටික විතරමයි නේද අපි හදන්නේ? ගිය මාසයේ දී ඉන්දියාවෙන් ගෙනාපු යකඩ බටයේ චීනයෙන් ගෙනාපු ජාතික කොඩිය ගහලා නැති නිදහසක් සැමරුවා. ආර්ථික නිදහසක් නැති නම් රටක් නිදහස් වෙන්නේ නෑ.

හැමදේම පිටරටින් ගේන්න අපි ඩොලර් ඕනි. අපි මුකුත්ම හදන්නේ නැතිනම් අපි පිටරටට විකුණන්නේ නැතිනම් අපි කොහොමද පිටරටින් ගේන ඒවාට මුදල් ගෙවන්නේ. ණය ගන්නවා හැර අපට විකල්පයක් නෑ. මුලින්ම ආනයන අපනයන අතර පරතරය පියවන්න ණය ගත්තා. ඊ ළඟට ණය ගෙවන්න ණය ගත්තා. අන්තිමට ණය ගෙවා ගන්න බැරි වුණාම බංකොලොත් වුණා.

 අපි ණයට කාලා සැපට ඉන්නවා අපේ දරුවන්ට ඒ ණය ගෙවනවා.

දැන් අපි මොකද කරන්නේ ? ණය ගෙවන එක නතර කරලා තව තවත් ණය ගන්නවා. පෙරේදා මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලැබුණාම ආණ්ඩුව හැසිරුනේ ලෝකය දික්විජය කලා වගේ. ඉස්සර මිනිස්සු ණය වුණේ ලැජ්ජාවෙන්. ණය ගත්තේ හොර රහසේ. මේ ආණ්ඩුව ණය ලැබීමේ සතුටට ප්‍රීති සාද පවත්වනවා. අපිට තිබෙන තොරතුරු අනුව ණය ප්‍රතිව්‍යුහකරණයෙන් පස්සේ ණය ආපසු ගෙවීම පටන් ගන්නේ 2027 දී. ණය ආපසු ගෙවලා ඉවර කරන්නේ අවුරුදු තිහකින්. ඒ කියන්නේ 2057 දී. මොකක්ද මේ අපි කරන්නේ? අපි ණයට කාලා සැපට ඉන්නවා අපේ දරුවන්ට ඒ ණය ගෙවන්න. වෙන රටවල දෙමව්පියන් දරුවන් වෙනුවෙන් ඉතිරි කරනවා. දේපල රැස් කරනවා. අපි අපේ දරුවන්ට උරුම කරන්නේ ණය කන්දක් විතරයි. අපේ දරුවන් මේ කරන අපරාධයට අපිට ශාප කරනවා සත්තයි.

අපි අපනයනය කරන සොච්චමෙත් ඩොලර් ටික රට ඇතුලට එන්නේ නැත්නම් අපි ණය ගෙවන්නේ කොහොමද? රවි කරුණානායකගේ විදේශ විනිමය පනතේ හිලෙන් රිංගලා අද අපේ අපනයකරුවන් පිටරටට බඩු විකුණලා ලැබෙන ඩොලර් ලංකාවට ගේන්නේ නැතිව සිංගප්පූරුවේ ඩුබායි ස්විට්සර්ලන්තය වැනි රටවල තැන්පත් කරනවා. ඉන්දියාවේ අපනයන කරන වටිනාකමෙන් 90%ක් මාස තුනක් ඇතුලත රට ඇතුලට ගේන්න ඕනි. අපට ඒ නීතිය ගේන්න තිබෙන අයිතිය අයිඑම්එෆ් ගිවිසුමෙන් අහිමි කරගෙන තිබෙනවා. අපි අයිඑම්එෆ් ගිවිසුමෙන් පොරොන්දු වෙලා තිබෙන්නේ වසරක් ඇතුලත විදේශ විනිමය නිදහසේ ගලා එන්න ගලා යන්න තිබෙන සියළුම බාධක ඉවත් කරනවා කියලයි.

 අඳුරට ශාප කරලා වැඩක් නෑ. අපි පහන් දල්වන්න පටන් ගමු. සිරිලක දේ සිරි සැප දේ ගන්න අපේ දේ කියලා අපේ ජනතාවට කියමු. වරද්ද වරද්ද හරි මොනවා හරි හදන නිෂ්පාදකයා දිරිමත් කරමු. රට භාර ගන්න පුද්ගලයා කවුරු වුණත් අපේ රට අපි හදන නිශ්චිත වැඩපිලිවෙලක් සමග අපි ජනාධිපතිවරණයේ දී හමු වෙමු.

මෙම ජන සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජයධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, උත්තර ලංකා සභාගයේ විධායක සභික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී තිලකසිරි යන දේශපාලන පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

මානුෂීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ඩලස් අලහප්පෙරුම, “දූෂණය නවතමු! මව්බිම ගොඩගමු!” සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත්වරු මෙම විශේෂ සමුළුවට සුබ පැතුම් එක් කළහ.

 සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතූළු විද්වත් වෘත්තිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website