බදාදා, 27 මාර්තු 2024 11:20

ලංකාවට කෘතිම බුද්ධි මධ්‍යස්ථානයක්… පනත පාර්ලිමේන්තුවට.. Featured

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරම්භ වු ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණි. සේවා සැපයීම යථාර්ථයක් බවට පත්කිරිම, ප්‍රජාවන් බලගැන්විම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනයක් සිදු කිරීම පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කෙරිණි.

එම විද්වත් සාකච්ඡා සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ පාලනය පිළිබද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, දැනුම හා අත්දැකීම් සපිරි ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික විද්වතුන් රැසක් එක්ව සිටියහ.

නව නීති සම්මතවීම සමඟ අපනයන ඉලක්ක කර ගත් ඩිජිටල් හා හරිත ආර්ථකයක් බවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිවර්තනය කිරිමට හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය,

රටේ ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළ පහසු කිරීම සඳහා නව ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

තොරතුරු තාක්ෂණ සභා වැනි පවතින ව්‍යුහයන්ගෙන් ඉවත් වී, ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානයක් (AI Center) නිර්මාණය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියනයක මුදලක් වෙන් කිරීමට අප කටයුතු කළා.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, දරිද්‍රතාවයට පිළියම් යෙදීම සහ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේදී ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රවර්ධනය කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ ජාතික ඉලක්කයක් ආණ්ඩුවට තිබෙනවා. 2035 වන විට මෙරට ජනතාව ගේ දරිද්‍රතාවය 10% නොඉක්මවන බව සහතික කිරීම අපගේ අරමුණයි.

 මෙම ආර්ථික අභිමතාර්ථ සපුරා ගැනීමේදී ශක්තිමත් ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමේ සහ නිවැරදි දත්ත රැස් කිරීම වැදගත් වෙනවා. මෙම දත්ත මඟින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආදායම් මට්ටම් වැනි විවිධ මානයන් සලකා බලා පිළියම් යෙදීම කළ යුතුයි.

යෝජිත නියෝජිතායතනයේ කටයුතු සක්‍රීයව පවත්වාගෙන යාමට හැකිවන පරිදි මෙම වසරේ මැද බාගය වන විට පාර්ලිමේන්තුවට නීති ගෙන ඒම අපේ අරමුණයි. විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපය ප්‍රධාන වර්ධන කලාපයක් ලෙස මතුවන බැවින් ශ්‍රී ලංකාව තරඟකාරී ආර්ථිකයක් බවට පත්වීමට මෙම ව්‍යවස්ථාදායක සහ ප්‍රතිපත්ති රාමුව ඉතා වැදගත් වනවා.

මෙම වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා පාසල් සහ උසස් අධ්‍යාපන මට්ටමින් අධ්‍යාපන පද්ධතිය ද ශක්තිමත් කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ කෘත්‍රිම බුද්ධිය (AI) පාසල්වලට හඳුන්වා දීම ප්‍රධාන වැඩසටහනක් වන අතර වසර පහක් හෝ අටක් තුළ ඒ සඳහා සෑම පාසලක්ම සම්බන්ධ කරලීමත්, එම වැඩසටහන විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට, ඉන්දීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් චෙන්නායි ඉන්දීය තාක්ෂණ ආයතනයේ (IIT) ශාඛාවක් මෙරට ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ විශේෂඥතාව ප්‍රයෝජනයට ගනිමින් තාක්ෂණික විශ්වවිද්‍යාල දෙකක් ඇතුළු විශ්ව විද්‍යාල තුනක් මෙරට පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

සුදුසු උපාය මාර්ග අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ඉන්දියානු විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා සාමූහික සහාය අවශ්‍යයි. 21 වන සියවසේ අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේදී නවීකරණය වැළඳ ගැනීමේ හදිසි අවශ්‍යතාවක් මතුව තිබෙනවා.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website