බදාදා, 03 අප්‍රේල් 2024 08:30

ශ්‍රී ලංකාවට එද්දී අමෙරිකා පාලමේ හැප්පුණු විෂ ද්‍රව්‍ය නැව ගැන පරීක්ෂණයක් – පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර Featured

ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නැවෙහි අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පැවැසීය.

මෙම නැවේ පැමිණීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට කිසිඳු දැනුම්දීමක් සිදු කර නොතිබූ බව ද ඇමැතිවරයා පැවැසුවේය. අහිතකර විෂ ද්‍රව්‍ය බහාලුම් සහිතව මෙරටට පැමිණෙමින් තිබිය දී අනතුරට පත් මෙම නැව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

“මේ නැව සම්බන්ධයෙන් දැනටමත් විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මේ නැවේ පැමිණීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දීලා තිබුණේ නැහැ. අපි මේ වන විට රේගුවටත් වරායටත් දන්වලා තිබෙනවා ඒ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ නැව හැප්පුණු නිසා තමයි එහි තිබූ භාණ්ඩ ගැන දැනගන්නට පුළුවන් වුණේ. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා සභාව දැනුම්වත් කරන්න කටයුතු කරනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා,

“මෑස් නම් වූ සමාගමට අයත් මේ නැවේ තිබූ කන්ටේනර් 4644න් 764 අන්තරායකර විෂ ද්‍රව්‍යයන්ගෙන් යුක්ත බවට දැනුම් දී තිබෙනවා. මේ විදිහේ ප්‍රශ්නයක් මීට පෙර සිදු වෙලා අපි විශාල අනතුරකට ලක් වුණා. මධ්‍යම පරිසර අධිකාරිය වගේම මේ රට බාර්ෂල් කන්වෙන්ෂන් එකට අනුව වැඩ කරන්නේ 1992 ඉඳලා. ඒ අනුව මේ වගේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය රැගෙන යන නැවක් අපේ වරායක් හරහා යනවා නම් ඒ බව අපේ රටට දැනුම් දෙන්න ඕන. මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසුවාම ඒ බව දැනුම් දී නැහැ. මේ නැව මේ මාසයේ 15ත් 17ත් කාලය අතර අපේ රටට පැමිණීමට නියමිතයි. ලංකාවේ ඒජන්ට් විදියට මෙහි සිටින සමාගම විශාල සමාගමක්. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්න පෙර අපි යෝජනා කරන්න කැමැතියි. මේ සමාගම ලොකු කම්පැනියක් නිසා මේ නැව එන්න පුළුවන්. ඉන් හානියක් රටට වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් තීරණයක් ගන්න කියලා යෝජනා කරනවා.”

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website