බදාදා, 03 අප්‍රේල් 2024 08:32

පරීක්ෂණ අවසන් වන තුරු නැවේ කාර්ය මණ්ඩලයට පිට වීමට අවසර නෑ Featured

ඉන්දීය ජාතිකයෝ 20ක් සහ ශ්‍රී ලාංකිකයකුත් ඒ අතර

අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලයට පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එහි රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට අමතරව සෙසු කාර්ය මණ්ඩලය ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත බව මුලදී වාර්තා වූවද, එහි ඉන්දීය ජාතිකයන් 20 දෙනකු සහ ශ්‍රී ලාංකික ජාතිකයකු සිටින බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය පසුව තහවුරු කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු එම නෞකාව පාලමෙහි ගැටීමෙන් සුළු තුවාල ලබා ඇති අතර, සෙසු සියලුදෙනාම නිරුපද්‍රිතව පූර්ණ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් සඳහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ලෝක නෞකා කාර්ය මණ්ඩලවලට වැඩිම සේවකයන් සැපයීමෙන් පිලිපීනය හා චීනය ඉදිරියෙන් පසුවන අතර, ඉන්දියාවට හිමිවී ඇත්තේ තුන්වැනි තැනය. ඉන්දීය දත්ත වාර්තාවලට අනුව ජාත්‍යන්තර නෞකා සේවකයන්ගෙන් 10%ක් සපයනු ලබන්නේ ඉන්දියාවෙන් බව ද වාර්තා වේ. එම වාර්තාවේ 2017 සංඛ්‍යා ලේඛනවලට අනුව එම වසරේදී ජාත්‍යන්තර නෞකා සේවයේ නිරතව සිටි ඉන්දීය ජාතිකයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකට වැඩි බව ද වාර්තා වේ.

කෙසේ වුවද පරීක්ෂණ කටයුතු අවසන් වන දිනය හෝ භාණ්ඩ නෞකාව යළි ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කරන දිනය හෝ මෙතෙක් දැනුම් දී නැති අතර, එතෙක් නෞකාවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර, ජලය ඇතුළු සෙසු පහසුකම් සැපැයීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ පාඩුවක් සිදු කරමින් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් පාලම මත සිටි පුද්ගලයන් 6 දෙනකු ද ජීවිතක්ෂයට පත් වූ අතර, බැල්ටිමෝර් වරායේ මෙහෙයුම් අවලංගු කිරීමට සිදුවීමෙන් දෛනිකව ඩොලර් මිලියන 15ක පාඩුවක් ද එම වරායට විඳ ගැනීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website