සිකුරාදා, 05 අප්‍රේල් 2024 08:59

දමිතා-සැමියා අත්අඩංගුවට Featured

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් දෙදෙනා නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාර වීමට පැමිණ තිබූ අතර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල කාමරයට නීතිඥවරුන් ගොස් මෝසම ගොනු කිරීමට අවසර ඉල්ලා තිබිණි. එහිදී ඊයේ (04) විභාගයට ගන්නේ කොල්ලුපිටිය පොලිසියට අදාළ නඩු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දිනයක් නොවන බවත් සලකමින් එම මෝසම භාර ගැනීම තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරණු ලැබීය.

ඒ අනුව ඔවුන් අධිකරණයෙන් පිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සිටියදී කාන්තා පොලිස් නිලධාරිනියන් සිව්දෙනකුගෙන් සමන්විත නිලධාරින් 20ක පමණ පිරිසක් පැමිණ සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබීය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර තිබූ අතර ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කර තිබිණි.

මේ අතර දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය පසුගියදා (02) තීන්දු කර තිබිණි.

ඇප මත මුදා හරින ලෙස අපේක්ෂිත ඇපයක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය නියෝගය නිකුත් කරමින් පසුගිය මාර්තු මස 27 වැනිදා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

සිය අපේක්ෂිත ඇපය ඉල්ලමින් තමන් මෙරට ප්‍රවීණ නිළියක් වන බවත් දේශපාලනයේ නිරත බවත් කියමින් ඇයට අපකීර්තියක් ඇති කිරීමට උත්සාහ දරා ඇතැයි කියමින් තිබූ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ දක්වා තිබිණි.

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website