බදාදා, 17 අප්‍රේල් 2024 10:14

හිටපු රාජ්‍ය අැමැති පාලිත තෙවරප්පෙරුම විදුලිසර වැදී මිය යයි Featured

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලිසර වැදීමකින් ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇත. හිටපු අමාත්‍යවරයා ඉඩම් හිමි වැවිලිකරුවකු වන අතර ඔහු මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ වත්තේ වගා කටයුතු සිදු කිරීම් කරන අතරතුර විදුලි සැර වැදී ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම අවස්ථාවේ අකුණු සහිත වර්ෂාවක් ද ප්‍රදේශයේ තිබී ඇති බවත් විදුලි පේනුවක විදුලි කාන්දුවක් ද තිබී ඇති බව එම පොලිස් නිලධාරියා කීය. විදුලි සැර වැදී පාලිත තෙවරප්පෙරුම මහතා මිය ගිය බව පෙනී ගිය ද එම විදුලි සැර, විදුලි කාන්දුවෙන් සිදු වූවක් ද නැති නම් වෙනත් හේතුවකින් සිදු වූවක් ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කරගත හැකි වෙතැයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

විදුලි සැර වැදීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇති අතර, ඒ වන විටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෘත දේහය මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.

1960 මැයි 03 වැනිදා උපත ලබා ඇති ඒ මහතා මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ ආදිසිසුවෙකි. මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන ඒ මහතා කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකි.

දෙදරු පියකු වන පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමල් දරුවා කලකට පෙර මියගිය අතර පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටි කාලයේදී ඔහුගේ මළ සිරුර තැන්පත් කිරීම සඳහා මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා සිය දෙණ තැන්පත් කිරීමට රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල් ද ගෙවා ඇති බව ඔහු විසින් ප්‍රකාශයක් ලබාදී තිබිණි.

එම දෙණ එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ඔහු විසින් සින්දුවක් ද ලියා තිබිණි.

එහි මෙසේ සඳහන් විය.

“ වත්තේ වැව ළඟ නිසල නිවහන මම හැදුවා පොඩි පුතේ

මගේ තනියට ලොකු පුතා ඇති සොයා ගන්නම් හෙට උදේ

ස්වභාදහමට අවනතයි මම ඉතින් යන්නම් ගොම්මනේ

යන ගමන් අර බෙහෙත් තුණ්ඩුව ගිහින් දීපන් අම්මගේ“

තමන්ගේ අවසන් කටයුතු පැය විසිහතරක් තුළ සිදු කරන ලෙසත් ඔහු එමඟින් දැනුම් දී ඇත.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website