සිකුරාදා, 19 අප්‍රේල් 2024 12:14

රුසියාවට යවලා අතරමං කරලා Featured

විශ්‍රාමික මේජර් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

මේජර් ජනරාල් කෙනකු ගැනත් විමර්ශන

රුසියානු යුද හමුදාවේ රැකියා ලබාදෙන බව කියමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගෙන් මුදල් වංචාකර ඔවුන් රුසියාවට පිටත් කර යවා අතරමං කළ බව කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ තොරතුරු හෙළි කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මහා ජාවාරමට සම්බන්ධ බවට සැකකරන යුදහමුදා මේජර් ජෙනරාල්වරයකුද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම සැකකරුවන් දෙදෙනා විසින් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු රුසියාවට පිටත් කර යවා ඇත. ඔවුන්ට රුසියානු හමුදාවේ ඉහළ වැටුප් ලබාදෙන බව කියමින් පිටත් කර යවා ඇති අතර මේ වනතුරු ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ රුසියාවට යැවූ එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 08කට අධික මුදලක් ලබාගෙන ඇති බවද හෙළි වී අතැ.

සැකකාර විශ්‍රාමික යුද හමුදා මේජර්වරයා මඩකළපුව ප්‍රදේශයේ කඳවුරක සේවය කළ අයෙකි. මොහු හමුදා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ වී තිබේ. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේදීය.

මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් පුද්ගලයා දිගන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.

රුසියානු යුද හමුදාවේ රැකියා ලබාදෙන බව කියමින් තමන්ගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කළ බවට පුද්ගලයන් 17 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ’පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී මෙම මහා ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

මෙම සංවිධානාත්මක කණ්ඩායම තවත් විශාල පිරිසක් මේ ආකාරයට රුසියානු හමුදාවේ රැකියා ලබාදෙන බව කියමින් රැසියාවට යවා ඇති බවට රහස් පොලිසිය සැකපහළ කරයි.

හේමන්ත රන්දුණු

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website