බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 09:47

මෛත්‍රිපාලට නඩුව අවසන් වනතුරු තනතුරු බැහැ Featured

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නඩුව අවසන් වනතුරු වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභිකයකු හා විධායක සභාකයකු ද වන මොන්ටේගූ සරත්චන්ද්‍ර මහතා විසින් ගොනු කර තිබූ නඩුවක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා එම නඩුව විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය අහෝසිවිමෙන් පසුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස එක්වීම හා සභාපති ධුරයේ කටයුතු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීත්‍යානුකූල බලයක් නොමැති බවත් එබවින් ඔහු පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙසත් මොන්ටේගූ සරත්චන්ද්‍ර මහතා එම නඩුව ගොනු කරමින් ඉල්ලා තිබිණි. පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් කියා ඇති පරිදි පළමු වන විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය අහෝසිවීමෙන් පසුවත් එම පක්ෂයේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීම ගැටලු සහගත බව තම අධිකරණයට ද පෙනී යන්නේ යැයි ද සිය නියෝගය නිකුත්කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා ලබන ජුනි 24 වැනිදා ලිඛිතව පිළිතුරු ගොනුකරන ලෙසට දෙපාර්ශ්වයට නියෝග කළේය.

පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනරජයේ විධායක ජනාධිපතිවරයකු ලෙස පත්ව එකී ධුර කාලය අවසන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වන ජනාධිපතිවරයකු නිල බලයෙන් පක්ෂයේ අනුශාසක ධුරයට පත්වන බැවින් පළමු වන විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා ද එකී ව්‍යවස්ථාව අනුව අනුශාසක ධුරය පමණක් හොබවනු ඇතැයි තමන් ඇතුළු පක්‍ෂ සාමාජිකයන් විශ්වාස කළත් මෛත්‍රිපාල සිරිසේන මහතා 2019. 11. 18 දිනෙන් පසුවත් එලෙස නොකොට සභාපති ධුරය ද දැරීම නීති විරෝධී වන්නේ යැයි ද සිය පැමිණිල්ලෙන් කියා තිබිණි.

එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව එවකට එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන මහත්වරුන් ද නම්කර තිබිණි. නීතිඥ දිනේෂ් ද සිල්වා, චාමර නානායක්කාරවසම්, හිරන්‍යා දමුනුපොළ හා නීතිඥ චමෝදි රාජනෙත්ති මහත්මිය සමඟ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website