බ්‍රහස්පතින්දා, 16 මැයි 2024 05:18

යුද්ධයෙන් මිය ගිය හා අතුරුදහන්වූවන් ගැන සංවේදී විය යුතුයි - කරු ජයසූරිය Featured

යුද සමයේ මියගිය හා අතුරුදන් වූ සියළුම පුද්ගලයන් ගැන සමස්ත සමාජයම සංවේදී ලෙස ක්‍රියාකල යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, යුද සමයේ මරණයට පත් වූ සහ අතුරුදන්වීම්වලට ලක් වූ ශ්‍රී ලාංකේය පුරවැසියන් සිහිපත් කරමින් මුතූර් ප්‍රදේශයේ කැඳ දන්සැලක් සංවිධානය කිරීමට එරෙහිව රජයේ බලධාරීන් දක්වා ඇති ප්‍රතික්‍රියාවන් පිළිබඳව අප අතිශයින්ම කම්පාවට පත්වන්නෙමු.

තම සමීපමයන් මරණයට පත්වීම හා අතුරුදන්ව සිටීම පිළිබඳව වින්දිත පාර්ශ්වයන්ට ඇති වේදනාව සමාජයක් ලෙස අප සංවේදීව වටහා ගත යුතුය. එමෙන්ම එවැනි තත්ත්වයන් මේ රට තවත් අඳුරු යුගයකට යොමුකරවීම සඳහා  ඉවහල් නොකර ගැනීමද සමාජයේ වගකීමකි.

ඒ අනුව රජයේ බලධාරීන් ද ඇතුළු සමස්ත සමාජයම මෙවන් අවස්ථාවන්හිදී කටයුතු කල යුතුව ඇත්තේ රටේ පොදු යහපත පෙරදැරි කොටගෙනය. එසේ නොවුනහොත් එය අප රට නැවැත අදුරු යුගයකට තල්ලුකර දැමීමට ද හේතු සාධක විය හැකිය.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප පසුගිය කාලය තුළ මේ රටේ සිදු වූ විවිධ අවාසනාවන්ත තත්ත්වයන් තුළ මියගිය හා අතුරුදන්වූවන් සියළුම දෙනා පිළිබඳව කම්පාවටත් වේදනාවටත් පත්වන අතර නැවැත එවැනි තත්ත්වයන් ඇති නොවීමට පරිසරයක් නිර්මාණය කරගැනීම හරහා ඔවුන් සියළුම දෙනා වෙත යුක්තිය ඉටුකිරීමට කැපවන ලෙස සියළුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2024 14:11

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website