අඟහරුවාදා, 21 මැයි 2024 13:47

සියලූම පක්ෂ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන යෝජනා ඉදිරිපත් කරන්න - කරු ජයසූරිය   Featured

ජනාධිපතිවරයා ඇතුළු බලය ලබාගැනීමට සුදානම් වන සියළුම පක්ෂ නායකයින් වෙත ආයාචනයක් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මහතා මීලඟ මැතිවරණයට පෙර රටේ සියලු සියළුම ජාතීන්ට හා ආගමිකයන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි සමගි සම්පන්න එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන්ගේ ස්ථාවරය පැහැදිළි කරන ලෙස ඉල්ලීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ,

රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටුකර ගත් එ්කාබද්ධ ප්‍රයත්නයකට යොමු විය යුතුව තිබේ.

අනාගත ශ්‍රී ලංකාවේ ස්ථාවර පැවැත්ම හා සමෘද්ධිය පිළිබඳව රටට ආදරය කරන්නා වූ සෑම පාර්ශ්වයකම අපේක්ෂාව පිළිබඳව සැළකීමේදී මේ රටේ ජාතික දේශපාලනයට නායකත්වය දෙන සියළුම පාර්ශ්වයන්ගේ අවධානයට ලක්විය යුතු ප්‍රමුඛතම කරුණක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරය ලෙස අපගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

අද වන විට රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය එහිදී ප්‍රමුඛ ලෙස සැලැකිල්ලෙහි තබා ගනිමින් මේ රටේ සියළුම ජාතීන්ට හා ආගමිකයන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි සමගි සම්පන්න එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කටයුතු කිරීම සඳහා පෙරමුණ ගැනීම සමස්ත ජාතියේම වගකීම වී තිබේ.

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමග සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, ආරම්භයේ පටන්ම මේ රටේ දේශපාලන නායකයන් වෙත සැමවිටම ආයාචනය කරන ලද්දේ එකී ඉලක්කය සපුරා ගැනීමේ මාවතකට රට යොමුකරන ලෙසටය. අවාසනාවට මේ දක්වාම එය ඉටුකර ගැනීමට ජාතියක් ලෙස අපි අපහොසත්ව සිටින්නෙමු. එමෙන්ම එම තත්ත්වය රටක් වශයෙන් අද අප මුහුණදෙමින් සිටින අවාසනාවන්ත පරිසරයට ද මූලික හේතුවක් වී ඇති බව නිවැරදිව අප වටහා ගත යුතුව ඇති වන්නෙමු.

මෙහිදී අප අවධානය යොමුකළ යුතු ඉතා වැදගත් කරුණක් තිබේ. එනම්, බලගතු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් 1948 වර්ෂයේදී අප නිදහස ලබාගත්තේ එදා සිටි සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජාතිකත්වයනට අයත් සෑම ප්‍රධාන නායකයෙක්ම පාහේ සමගි සම්පන්නව එක් අරමුණකින් යුත් ඉලක්කයක් කරා එකමුතුව ක්‍රියාකළ නිසාම වන බවය.

ජාතික වශයෙන් වූ එදා පැවැති එකී අධිෂ්ඨානය පළුදුවීම සඳහා පසුව සිදුවූ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම බලපෑ බව ද අප නිවැරදිව තේරුම්ගත යුතුව තිබේ. විශේෂයෙන්ම පනහ දශකයේ සිට වර්ධනය වූ ජාතිවාදී හා ආගම්වාදී ප්‍රවණතා හා ඒ තුළ මතුවූ විවිධ ගැටුම් සහ එම හේතුන් මුල්කර ගනිමින් පසුකාලීනව නිර්මාණය

වූ තරුණ අසහනය මුල්කර ගත් අරගල හා දේශපාලන වියවුල් අප අද මුහුණදෙමින් සිටින බොහෝ ඛේදනීය තත්ත්වයන්ට මූල බීජ සපයා තිබේ. මෙම තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන බුද්ධිමත්ව කටයුතු නොකළහොත් රටක් ලෙස අපට අත්විය හැකි දුක්ඛදායක ඉරණම් පිළිබඳ අප තුළ බරපතල කනස්සල්ලක් තිබේ. එබැවින් අප රටේ නූපන් අනාගත පරපුරට හෝ යහපත් රටක් උරුම කරදීම සඳහා අප සතුව ඇති අත්හළ නොහැකි වගකීමක් තිබේ.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප වර්තමාන රාජ්‍ය නායකත්වය පෙරටු කරගත් ආණ්ඩුවෙන් මෙන්ම, අනාගතයේදී මේ රටේ ආණ්ඩු බලය අපේක්ෂා කරන සියලූම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ රටේ මූලික නීතියට අන්තර්ගත වූ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්ම කිරීම සඳහා සාධාරණ ප්‍රවේශයකට යොමුවන ලෙසටය.

එමෙන්ම බොහෝ පාර්ශ්වයන්හි විවාදයකට තුඩු දී ඇති ඉඩම් පිළිබඳ ගැටළුව විසඳා ගැනීම සඳහා යෝජිත ඉඩම් කොමිසම හරහා විසඳුමක් ලබාගැනීමට නොපමාව ප්‍රවේශ වන ලෙසටය. ඒ අතර, පොලිස් බලතල පිළිබඳ විවාදය තවත් කල් නොහැර අවසන් කිරීම සඳහා උතුරේ සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග අවංක සාකච්ඡාවකට යොමුවිය යුතුව ඇති අතර, එහිදී රටේ මහජන අභිලාශ්යන් හා සමාජ විඥාණයන් පිළිබඳව උතුරේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බුද්ධිමත්ව සැලකිල්ලට ගත යුතුව ඇතැයි යන්න ද අපගේ පිළිගැනීමයි. මෙහි දී රජයේ ස්ථාවරය දැනටමත් පැහැදිළි කර ඇත.

මෙහිදී අප සැලකිල්ලට ගත යතුව ඇති සුභවාදී ප්‍රවණතා කෙරෙහිද රටක් ලෙස අවධානයක් යොමු කිරීම  වැදගත්ය. ශ්‍රී ලංකාව පිළිබඳව මෑතක් වන තුරුම යම් අඳුරු මතයක පිහිටා කටයුතු කළ ගෝලීය ද්‍රවිඩ සංසදය අද වන විට ඉතාමත් සාධනීය ලෙස පෙරට එමින් මේ රටේ මහා සංඝරත්නයට සහ ආගමික නායකයින්, සමඟ මෙන්ම සමාජ හා දේශපාලන කණ්ඩායම් අතර වර්ධනය කරගනිමින් සිටින අවබෝධය හා ගොඩනගමින් සිටින සහජීවනය පිළිබඳව අපගේ ආශිර්වාදය පළකළ යුතුව තිබේ.

එම සියලුම කණ්ඩායම් හා පාර්ශ්ව සමග පොදු ජාතික අභිලාශයකින් යුතුව ස්ථාවර ගමනක් සඳහා මේ රට යොමුකළ යුතුව තිබේ. ඒ පිළිබඳව ඉදිරි මැතිවරණයන්ට පෙර ගනු ලබන ඒකාබද්ධ උත්සාහයක් ලෙස ජාතියක් කරා අප යොමු විය යුතුව ඇත්තෙමු. එම කරුණු සාර්ථක කරගැනීමට හැකිවේ නම් මේ රටේ අනාගත පරපුර වෙත අපට ලබාදිය හැකි වටිනාම ත්‍යාගය එය වනු ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website