සදුදා, 27 මැයි 2024 10:00

අතීත යාපනයේ පැවති ගුරු සිරිත රටේම ගුරුවරුන්ට පරමාදර්ශයක් වුණා – ජනපති Featured

අතීතයේ යාපනයේ පැවති ‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, ඒ අධ්‍යාපන ක්‍රමය යළිත් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේදී පෙරේදා (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වූවාය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“අද ගුරු පත්වීම් ලබන ඔබ සියලුදෙනාට විශාල වගකීමක් පැවරෙනවා. සිසුන් 35ක් 40ක් සිටින පන්ති කාමරයක දරුවන්ගේ අනාගතය අද ඔබ භාර ගන්නවා. ඒ දරුවන්ගේ අනාගතය නිර්මාණය වන්නේ ඔබේ මඟපෙන්වීම අනුවයි.

“එදා යාපනයේ ගුරුවරුන් රටේ සෑම ප්‍රදේශයකටම සහ ජාත්‍යන්තරයටද අවශ්‍ය වුණා. ඔවුන් තම වගකීම මහත් කැප වීමකින් යුතුව ඉටු කළා. මා අධ්‍යාපනය ලැබු කොළඹ රාජකීය විද්‍යාලයේත් යාපනයෙන් පැමිණි ගුරුවරුන් සිටියා. ඔවුන් විශාල කැප වීමකින් කටයුතු කළ අතර ඒ සුවිශේෂ කැප වීම නිසාම යාපනයේ සිටි ප්‍රසිද්ධ ගුරුවරුන් පිළිබඳ තවමත් සමාජයේ කතාබහකට ලක් වනවා. ඒ ගුරු සිරිත රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් වූ බව කිව යුතුයි. ඒ නිසා ඔබත් ඒ ගෞරවනීය වෘත්තියට ඇතුළත් වන ලෙස මා ඉල්ලා සිටිනවා. ගුරු වෘත්තිය තුළ ඔබ ආදර්ශයක් විය යුතුයි. සටන් පාඨ කියමින් මහ පාරේ කෑගසනවා නම් සිසුන් ඔබ පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔබේ වගකීම නිසි ලෙස ඉටු කළ යුතුයි.

“යාපනය ගොඩනැඟුණේ එහි අධ්‍යාපනය උසස් මට්ටමකින් පවත්වාගෙන ගිය නිසයි. යාපනයේ ඇතැම් පාසල් ලෝකය පුරා විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණා. හාර්ට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ සිය දක්ෂතා පෙන්නුවා. අපේ හිටපු කථානායකවරයකු වන කේ.බී. රත්නායක මහතා අධ්‍යාපනය ලැබුවේත් හාර්ට්ලි විද්‍යාලයේයි. යුද්ධය හේතුවෙන් ගුරුවරුන් ඉවත්ව ගිය නිසා ඒ පාසල පසුබෑමකට ලක් වුණා. යාපනයේ අධ්‍යාපන ක්‍රමය නැවත ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ යුතුයි. උතුරේ මන්ත්‍රීවරුන් සහ විශ්විවිද්‍යාල නියෝජිතයන් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඒ සඳහා අදාළ සැලසුම් ආණ්ඩුවට ඉදිරිපත් කරන ලෙස මා ආණ්ඩුකාරතුමියට දැනුම් දීමට කැමැතියි. දෙමළ හා සිංහල අධ්‍යාපනය පමණක් දරුවන්ට දීම ප්‍රමාණවත් නොවන අතර, ඉංග්‍රීසි දැනුමද ඔවුන්ට දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවාගැනීමට කටයුතු කළ යුතුයි. මෙය වසර 10ක 15ක දීර්ඝ වැඩපිළිවෙළක් වුවද දැන් සිටම එම කටයුතු ආරම්භ කළ යුතුයි.

“ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් උතුරේ දරුවන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමට කැප වන ලෙස ඉල්ලා සිටිමින් අද පත්වීම් ලැබූ සියලු දෙනා වෙනුවෙන් මගේ සුබපැතුම් එක් කරනවා.”

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ධර්මලිංගම් සිද්ධාර්න්, එම්.ඒ. සුමන්තිරන්, චාර්ල්ස් නිර්මලනාදන්, කුලසිංහම් දිලීපන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයෝ සහ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website