බදාදා, 29 මැයි 2024 13:32

යහපත් රටක් උදෙසා යතිවර ලකුණ මාදුළුවාවේ සෝභිත නායක මාහිමි Featured

(අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 82වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි)

මෙදියත  වෙසෙන සෑම ජන සමාජයකටම අසහාය හා ගරු කටයුතු නායකත්වයක් බිහි වී ඇත්නම් හෙතෙම තුන්කල් ම දුටුවෙකි. ස්වකීය ලාභය, බල පරාක්‍රමය උදෙසා නොව පොදු සමාජයේ යහපත, අභිවෘද්ධිය හා පැවැත්ම වෙනුවෙන් දැවැන්ත හා අපරිමිත කැපකිරීමක් කළ ඇත්තෙක්ම විය යුත්තකි. එය සමස්ත ලෝකයටම පොදු  වූ ස්වභාවයකි. අප රටට අදාලව සැළකීමේදී එවන් චරිත සුලබ නොවෙති. දුර්ලබ ම වෙති. මෑතකාලීනව ජීවත් වූ එවන් දුර්ලබ චරිතයක් ලෙස අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ වැඩවසනු ඇත්තේ ඉදිරිම පෙළකය. ඉහළම තැනකය.

තම මාතෘ භූමිය පතිරූප දේශයක් බවට පරිවර්තනය කිරීමට, ඒ් මඟින් මතු පරපුරට හෝ සාඩම්බර විය හැකි රටක ජීවත්වීමට පරිසරයක් නිර්මාණය කිරීමට උන්වහන්සේ තුළ වූ කැපවීම අතිශයින් ම ගරු කටයුතුය. එසේ ගරු කටයුතු වන්නේ උන්වහන්සේ අපේක්ෂා කළ සමාජ පරිවර්තනය තුළ පවා කිසිදු බලයක්, තනතුරක් හෝ අමුතු   ගෞරවයක් උන්වහන්සේ අපේක්ෂා නොකළ නිසාය.

මාදුළුවාවේ සෝභිත නායක මාහිමි චරිතය සැළකිල්ලට ගැනීමේදී  පළමු කොට බුද්ධ පුත්‍රයෙකු වශයෙන් ද දෙවනුව සාර සමාජයක් උදෙසා කැප වූ සංස්කෘතික පුනර්ජීවකයෙක් ලෙසට ද තෙවනුව විශේෂයෙන් ම මේ රටේ දේශපාලන සංස්කෘතියෙහි දැවැන්ත පරිවර්තනයක් සඳහා යෝධ මඟ පෙන්වන්නෙකුගේ කාර්ය භාර්යයකට උර දුන් මහරු  චරිතයක් ද හඳුනා ගත හැකිය.

උන්වහන්සේ ඒ් සියළු කාර්යයන්ට නායකත්වය දෙන ලද්දේ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට පාදක වූ සංස්කෘතික හරයන් හා ඒ් තුළ දැවැන්තම ගාමක බලවේගයක් ද වූ භික්ෂු චරිතයට හිමි විය යුතු වු ගරුත්වය උපරිම අන්දමට ආරක්ෂා කරගනිමිනි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක ලෙස තමන් වහන්සේ සතු වූ වගකීම ඉහළින්ම සැළකිල්ලට ගනිමිනි. උන්වහන්සේ බණ පදයක් නොකී පන්සලක්, ගමක්, නගරයක් සොයාගැනීමට අපහසු වන්නේ එහෙයිනි. සිය සැදැහැවතුන්ගෙන් ලැබෙන දාන මාන පවා මේ රටේ දුෂ්කර ගම් දනව්හි වැඩවසන භික්ෂුන් වහන්සේලාට හා විහාරස්ථානවලට පමණක් නොව පීඩාවට පත් බොහෝ ගිහියන් වෙත ද ප්‍රතිදානය කළ අවස්ථා ගිණිය නොහැකි තරම්ය.

රටේ සමාජ සාරධර්ම වර්ධනය පිණිස ද අධ්‍යාපන ක්ෂත්‍රය තුළ ද උන්වහන්සේ කර ඇති මැදිහත්වීම කොතරම් ද යන්න වටහා ගැනීමට ඇති හොඳම සාධකය උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු සමාජය තුළ දැකිය හැකි නායකත්ව රික්තයෙහි පරිමාවයි. පරිවේණාධිපතිවරයෙක්, අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන් දැවැන්ත චරිතයක්, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නැඟි සිටි අරහත් ධජයක්, දේශීය ආර්ථිකයකට මඟපෙන්විය හැකි ව්‍යවසායකත්ව ප්‍රජාවක් ගොඩනැඟීමට උර දුන් ආර්ථික වරප්‍රසාද අපේක්ෂා නොකළ චරිතයක් යනාදි වශයෙන් උන්වහන්සේගේ සමාජ භූමිකාව ක්ෂත්‍ර ගනනාවක් පුරා විහිදී ගිය එකකි.

උන්වහන්සේ තුළ වූ සමාජ අරමුණ, ගොඩනැඟීමට අපේක්ෂා කළ යහපත් රට, නිර්මාණය කරගැනීමට ඇති බලගතුම බාධකය උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සමස්ත ජාතියටම කඩා පාත් වූ “මහහෙනය” ලෙසටය. එය ඉතා පැහැදිලිවම උන්වහන්සේ රට හමුවේ ප්‍රකාශ කළේ සිය 70 වන ජන්ම දින දා තමන් වහන්සේට ආශිර්වාද කිරීමට හා සුභ පැතීමට එක්රැස් වූ මහා සංඝරත්නය හා ගිහි ප්‍රජාව හමුවේදීය. උන්වහන්සේ එහිදි අවධාරණය කළේ රට තුළ බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන තුරු මේ රටට සුගතියක් අත් නොවන බවය. එකි අනතුරින් රට ගලවාගැනීමට තම ඉදිරි ජීවිත කාලයම කැපකරන බවට උන්වහන්සේ ප්‍රතිඥා දුන්නේ එදාය.

විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් 1978 වසරේ සිට විවිධ දේශපාලන හා ව්‍යවස්ථා විශාරදයින් කීර්තිමත් දේශපාලන නායකත්වයන් හා මේ රටේ සියළුම දේශපාලන පක්ෂ පාහේ විධායක ජනාධිපති ක්‍රමයෙහි ඇති ආදීනව පෙන්වා දී ඇතත් ඒ් සඳහා ම තම කැපවීම ප්‍රකාශයට පත් කළ හා එකී කැපවීම අඛණ්ඩවම ප්‍රදර්ශනය කළ ප්‍රථම චරිතය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ය.

උන්වහන්සේගේ එකී කැපවිම තුළ අත්තනෝමතික ඒ්කාධිපතිත්වයක් කරා ගමන් කරමින් තිබූ වර්ධනයට සීමාවන් ගණනාවක් ම සන්ටුහන් කිරිමට සමත් විය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය එහි එක් තීරණාත්මක පියවරක් විය. එහෙත් ජාතියේ අභාග්‍යයකට උන්වහන්සේගේ අපවත්වීම තුළ එහි අවසන් අරමුණ කරා යොමු වන්නට උන්වහන්සේට නොහැකි විය. එකි වගකීම අප හමුවේ ඉතිරි විය.

ඒ් අනුව උන්වහන්සේගේ එකි දැක්ම හා අධිෂ්ඨානය අද දවසේ අප ගැඹුරින් සළකා බැලිය යුතුව තිබේ. විශේෂයෙන් ම ලංකා ඉතිහාසයේ කිසි ම කාලයක නොවූ ආකාරයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වීමට තරම් අවාසනාවන්ත වී ඇති පරිසරයක ඒ් පිළිබඳව අවධානය යොමු කිරීමේ වගකීම සමාජයක් ලෙස අප වෙත පැවරී තිබේ.

ශ්‍රි ලංකා රාජ්‍යයේ අද වන විට පැවැත්ම ආරක්ෂා කළ යුතු වු ද සක්‍රීය කල යුතු වූ ද ආණ්ඩුකරණයේ පදනම වශයෙන් සැලකිය හැකි විධායක ජනාධිපති ක්‍රමය පිලිබඳව  විවරණය කළ ව්‍යවස්ථා විශාරදයින්, දේශපාලන විචාරකයින් හා කෘතහස්ත දේශපාලඥයින් බොහෝ දෙනෙකු පෙන්වා දී ඇති අහිතකර තත්ත්වයන් ගණනාවකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දුර්මුඛ කිරීම අධිකරණ ස්වාධිනත්වයෙහි අඛණ්ඩතාවයට සිදු කරන්නා වූ හානිය,  දූෂිත ආර්ථික බලවේග ශක්තිමත් වීමෙන් තිරසර ආර්ථික සංවර්ධනයකට එල්ල කරන බලපෑම වැනි කරුණු ඒ් අතරින් ප්‍රධානය. එවැනි තත්ත්වයක් යටතේ මෑත දශක කිහිපයක කාලය තුළ රටට අත් වූ ඛේදණීය ඉරණම අද වන විට ඉතාමත්ම පැහැදිලිය. සාමුහිකත්වයකට කිසිදු ඉඩක් නොතබා එක් පුද්ගලයෙකුට අත්තනෝමතික හා හිතුවක්කාරී ආකාරයෙන් තීන්දු ගැනීමට ලබා දී ඇති ඉඩකඩ හා එවැනි තීන්දු රටේ බංකොලොත් භාවයට හේතුකාරකයන් වී ඇති අන්දම තේරුම්ගැනීම තුළ පමණක් එකි අනතුරේ ගැඹුර අවබෝධ කරගත හැකිය.

ඒ් සමඟම රටක් වශයෙන් අප අවධා‌නයට ලක් කල යුතුව ඇති වැදගත් පැතිමාන කිහිපයක්ම තිබේ. ඉන් ප්‍රධාන කරුණක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන පක්ෂ දුර්වල කිරීමට හා එකී පක්ෂ අඛණ්ඩවම රැකගනිමින් පැවති ප්‍රතිපත්ති පුද්ගල සාධක පදනම් කරගනිමින් දුර්වල කිරීමට විධායක ජනාධිපති ක්‍රමය හේතු වි ඇති ආකාරයයි. එම තත්ත්වය මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාපිතව පැවති දේශපාලන පක්ෂවලට අද වන විට උරුම කර දී ඇති තත්ත්වය තුළින් ම තේරුම් ගත හැක.

එමෙන්ම හෘද සාක්ෂියෙන් තොර මහජන නියෝජිතයින් පිරිසක් බිහිවීම එහි තවත් උරුමයකි. ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව පවතින විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් ඇති විය හැකිව පවතින බිහිසුණු ම අනතුරක් ඇත. එනම් දූෂිත ආර්ථික බලවේගවලට පමණක් නොව විදේශීය බලවේගවලට ද  අවශ්‍ය නම් සැලසුම් සහගතව ශ්‍රී ලංකාව තුළ තමන්ට අවනත කරගත හැකි නායකත්වයක් නිර්මාණය කරගැනීමට වුව ද ඇති හැකියාවයි. සාමුහිකව තීන්දු ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති රටකට එවැනි මැදිහත්වීමක් සිදු කිරීමට ඇති හැකියාව සීමිත වන නමුදු එක් පුද්ගලයෙකු පමණක් ප්‍රවර්ධනය කිරීම තුළ  එවැනි ඉලක්කයකට ඔිනෑම  රටකට යොමු විය හැකිය.

රටක් ලෙස අප පසුගිය කාලය තුළ අත්දුටු කරුණු කාරණා අනුව ආර්ථික, දේශපාලන හා විදේශ ප්‍රතිපත්තිය වැනි රටක පැවැත්මට තිරණාත්මක ලෙස හේතු වන ප්‍රතිපත්ති රාජ්‍ය නායකත්වයට පත්වන එක් එක් පුද්ගල චරිතයන්ට සාපේක්ෂව තීන්දු වන ආකාරය සැලකිල්ලට ගැනීමේ දී ද තනි පුද්ගල බලයකට පමණක් රටක් නතු කිරීම අතිශය බිහිසුණු විය හැකිය.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ  එවැනි කරුණු ය. එවැනි තත්ත්වයක් අදට වඩා බරපතල ආකාරයෙන් අනාගතයේ ඇතිවිම හෝ වළක්වාගැනීම සඳහා අප යොමු විය යුත්තේ උන්වහන්සේ විසින් නිවැරදිව පෙන්වා දුන්  මාවත වෙතය. අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය පිළිබඳව සැලකීමේදී ද උන්වහන්සේ පෙන්වා දී ඇති මාවතෙන් බැහැරව රටක් ලෙස අපට යහපත් හෙට දවසක් ගැන සිතිය නොහැකිය.

| කරු ජයසුරිය

සභාපති

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website