අප වැනි මැතිවරණ පර්යේෂකයන්ගේ මෙන්ම දෙමළ බස කතා කරන උතුරේ සහ නැගෙනහිර සහ අනෙකුත් ජන ප්‍රජාවන්ගේ ද ඉමහත් ජනාදරයට පත් මැතිවරණ පරිපාලකයෙකි එම්. එම්, මොහමඩ්. ඔහු දැන් විශ්‍රාමිකව වසන නිර්ව්‍යාජ මිනිසෙකි. තම
විශ්‍රාමයෙන් වැඩක් ගැනීමට සිතාදෝ ඔහු තම Meta ගිණුමේ දෙමළ භාෂාගත ප්‍රස්ථාව පිරුළු හඳුන්වා දීමේ ලේඛන කාර්යයක් අරඹා ඇත. ඒ අනුව ඔහු අවසන් වරට ජනගත කොට ඇති පැරණි ප්‍රස්ථාව පිරුළක් පහත දැක්වේ.
தீட்டிய மரத்தில் கூர் பார்க்காதே,. මින් කියන්නේ ''මුවහත් කිරීමට උපකාර වූ ගහටම කොටලා තිබුණු බව තහවුරු කර ගන්න යන්න එපා'' යන්නයි. එහි අරුත නිරුත තවත් විමසන්නේ නම් මෙපරිදිය. ''තමා හදා වඩාගත් තැනැත්තාටම සිය බලය පෙන්වීමෙන් වැළකිය සිටිය යුතුය''.
මෙම පිරුළ දුටු විගසම අපට සිහි වූයේ ගජේන්ද්‍ර පොන්නම්බලම්ය. ඔහු උතුරේ කැපීපෙනෙන තරුණ නායකයෙකි. අනගි දේශපාලන පරපුරක ද පුරුකක් වන්නේය. මහා බ්‍රිතාන්‍යයේ වැඩිදුර අධ්‍යාපනය ලත් ඔහු නීතිඥයෙක් ද වේ. ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් වන ඔහු, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුගත වූයේ මනාප ජන්ද 31, 658 ක් ලබමිනි. ඔහු පිළිබඳව යාපනයේ ජන්දහිමි ජනතාවට වැදගත් වන තවත් කරුණක් ද පැවසිය හැක්කේය. එනම් නවවැනි පාර්ලිමේන්තුවේ මෙතෙක් සහභාගී වියයුතුව පැවති සභාවාර 366 ක් අතරින් ඔහු ඊට සහභාගී වී ඇත්තේ දින 266 ක් බවයි. දින 100 ක්‌ම ඔහු දියවන්නාවට පා තබා නැත.
මේ දිගු විස්තරය මෙහි සඳහන් කළේ ඔහුව අවප්‍රමාණ කිරීමට නොවේ. ඔහු ගැන යාපනයේ සහෝදර ජන ප්‍රජාව දන්නා දේ නැවතත් ඔවුන් හට සිහිපත් කිරීමටය.
පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරන අපගේ මැතිවරණයේදී එක් අයෙක් ජන්දය දීමද එවැනිම අයෙක් තම ජන්දය නොදී සිටීමද එකසමාන ප්‍රතික්‍රියා දක්වන්නේය. වසර 1994 මෙරටේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනයට ස්වාධීන ලැයිස්තු අංක 02 න් තරඟ වැදුණු එම් . ඒ ගෆුර් සෆරුල්ලහ් ලබාගත්තේ මනාප ජන්ද 351 කි. එහෙත් ඔහුද පාර්ලිමේන්තුගත වූ බව සැවොම දැනගත යුතුව ඇත.
ඒ අනුව මෑතදී Tamil People’s National Front (TPNF) නායකයා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේය. ඒ ළඟ එන ජනාධිපතිවරණය වර්ජනය කරනු යන්නයි. මෙහි ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහසක් පමණක් නොවේ. සදය හාස්‍යය ද නොඅඩුව ඇත්තේය. හේතුව නම් ඔහුට මෙවැන්නක් කියන්නට වැඩි අනුබලයක් ලැබුණේ ඔහු ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නිසා බැවිනි. මෙය ම ඔහු වසර 2020 අගෝස්තු මස 05 වැනි දිනට පෙර පැවසුවා නම් කුමක් වනු ඇතිද? එසේනම් ඔහුට A 9 පාර දිගේ දියවන්නාවට එන්නට අවස්ථාවක් නොලැබෙන්නේය.
ජන්දය නොදෙනු යැයි කීම ආදරණිය හෝ අහිංසක ඉල්ලීමක් නොවේ. ඒ තුළ සැඟවුණු ඇඟවුම් කාරක බොහොමයක් ඇත්තේය. යමෙක් ජන්දය නොදෙනු යැයි කී විට අප අමතක නොකළ යුත්තේ එලෙස ජන්දය යමෙක් වර්ජනය කිරීම තුළද තවත් අපේක්‍ෂකයෙකුට වාසියක් අත්වන බවයි. විශේෂ වශයෙන් එළඹෙන ජන්දයේදී දෙවැනි සහ තුන්වැනි මනාප තීරක සාධකයක් වන්නේ නම් ජන්ද වර්ජනයේ සැඟවුණු බළල් අත් මොනවාද යන්න වටහා ගැනීමට අපහසු නැත.
අනෙක් පසින් උතුරේ ජනතාව අමතක නොකළ යුතු අවස්ථාවක් ඇත්තේය. එනම් වසර 2005 දී පැවති ජනාධිපතිවරණයේදී කුමක් සිදු වූයේද යන්නයි.
එහිදී දහසින් බැඳී පියළි පිළිගත් LTTE ය ජනතාව ජන්ද පොළට යෑමෙන් වළක්වනු ලැබිය. අවසානයේදී මහේන්ද්‍ර රාජපක්‍ෂ වැඩි ජන්දයෙන් ජයගත්තේය. එවකට මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් යාවත්කාලීන කොට තිබූ ජන්ද හිමි නාම ලේඛනයට අනුව යාපනයේ සමස්ත ජන්ද හිමියන් සංඛ්‍යාව පිලිවෙලින් 701,938 ක් විය. එහෙත් වසර 2005 නොවැම්බර් 17 වැනි දින පැවති ජනාධිපතිවරණයේදී තම ජන්දය භාවිත කරන ලද උතුරේ සමස්ත ජන්දදායකයන්ගේ ගණන 96,000 ක් පමණක් විය.
එනයින් බලන කල, 605,938 කගේ ම වම අතෙහි සුළඟිල්ලේ දම්පාට ගැල්වුනේ නැත. උතුරේ ජනයා වසර 2010 වන තෙක්ම තමන් ජන්දය නොදුන් පාලකයෙක් යටතේ දිවි ගෙවූ අතර ගජේන්ද්‍ර පොන්නම්බලම් නම් දේශපාලනය හොඳින් දත් මේ මැදිවියේ සිටින දේශපාලන නායකයා ද මෙවරත් උත්සහ කරන්නේ LTTE ය විසින් දෙන ලද වැරදි ආදර්ශය ම යළිත් උතුරට කියා දෙන්නට දැයි හොඳින් විමසිය යුතුය. ඔහු මෙයම වසර 2019 දී සිදුකලද ඔහුට සවන් දුන් ඇත්තන්ගේ ගණන අල්පයක් විය.
දැනටමත් පාර්ලිමේන්තු කමිටු 04 ක් නියෝජනය කරන හා පසුගිය වසර තුනේදී පාර්ලිමේන්තු කමිටු 13 ක් නියෝජනය කල ගජේන්ද්‍ර පොන්නම්බලම් ඉහත ප්‍රස්ථාව පිරුළ නැවතත් කටපාඩම් කිරීම ඉතා වැදගත්ය. එනම් තමන් පාර්ලිමේන්තුව දක්වා ඔසොවා තැබූ යාපනයේ වැසියා ජන්දයෙන් වැළක්වීමේ තක්කඩි අභ්‍යාසය නොකර සිටිය යුතුය යන්නයි . පරමාධිපත්‍යය හිමි ජනතාව ඊළඟ ජන්දයේදී ඔහුගේ බස අසා ජන්ද පොළට නොගියොත් ඔහුට සිදුවනු ඇත්තේ ද කොළඹ රැජින පාරේ තම පියාගේ සම්ප්‍රදායික නිවසට වී කල් යැවීමටය.
ගජෙන්ද්‍රගේ නිවුන් සොහොයුරෙක් වන් අනෙක් තැනැත්තා රංගේ බණ්ඩාරය. ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සහ ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ශුරයෙක් වන අතර ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයෙක්ව සිට දේශපාලනයට එක්වූවෙකි. ශ්‍රී ලංකා සිනමාව තුළ ප්‍රතිවිරයන් හට එතරම් ජනකාන්ත තැනක් නැති වුවද දේශපාලනයේදී එසේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ නමගිය චන්ඩියෙක් ව සිටි ද.මු . දසනායක වෙනුවට ආදේශ වූ ඔහු විවිධ කාල වල විවිධ සංසිද්ධි සඳහා නමක් ඉසිලීය. එහෙත් ඒ එකදු කරුණක් හෝ ඔහුගේ සුපිළිපන් (Integrity) බව ඔසොවා තබන ඒවා නොවේ. සියල්ලම මජර හා ජාගර මෙන්ම හඩු සිද්ධීන්ය. මොහු අවසන් වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද්දේ යහපාලන ආණ්ඩු සමයේදීය. එකල අවසන් වසර තුනේදී (2017 - 2020) පාර්ලිමේන්තුව වෙත ඔහු ගොස් තිබු දින ගණන 133කි. එහෙත් ඊට නොදෙවෙනි ලෙස සභා වාර 119 කම ඔහු මඟ හැරිය. අවසන 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පුත්තලමේ ජනයා ඔහුට විරාමයක් දුනි (සැබවින්ම ඒ විරාමය ලැබුනේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමස්ත එක්සත් ජාතික පක්‍ෂයටමය.
එලෙස පරාජිත රංගේ බණ්ඩාර මෙරටේ කලක් විශාලතම දේශපාලන පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් ධූරයට පත්වීය. ගස් නැති රටේ එරඬු ගස් ද යෝධ ගස් සේ සැළකෙන්නේය. ඒ දහම අනුව යමින් එක්සත් ජාතික පක්‍ෂය රංගේ බණ්ඩාර තම ලේකම්වරයා බවට පත්කළ අතර එහි පළමු මහා ලේකම්වරයා වූයේ එච්. ඩබ් . අමරසූරියයි. හර්ෂ අබේවර්ධන , සෙනරත් කපුකොටුව වැන්නෝ එකී ධූරයේ වැජඹුණු බව එක්සත් ජාතික පාක්‍ෂිකයන් හට මතක ඇතැයි සිතමි.
ඉදින් 62 හැවිරිදි මේ වියපත් ලේකම්වරයා හට ඉදිරි වෙසක් පොහොය 05 දීම පාර්ලිමේන්තුව අහිමි වුවද තම පක්‍ෂ නායකයා අනුප්‍රාප්තික ජනපති වූයෙන් අලුතෙන් යමක් කිව යුතු බව සිහිවී කදිම අභද්‍ර වචනයක් තෙපළන්නේය. එහි අදහස මැතිවරණ විරහිත අමතර වසර දෙකකට ජනසම්මතවාදයට විරාමයක් දීමයි.
මෙම .කරුණු සළකා බැලීමේදී උතුරේදී ගජේන්ද්‍ර පොන්නම්බලම් ද , දකුණේදී රංගේ බණ්ඩාර ද නිමග්නව සිටින්නේ එකම කාර්යකය. වෙනස නම් එක් අයෙක් ජනතාව පිළිගත් තැනැත්තෙක් වන අතර අනෙකා ජනතාව ඉහළින්ම ප්‍රතික්‍ෂේප කරන ලද්දෙක් වීමයි.
රංගේ ගේ වදන් හුදු සම්පප්‍රලාප ලෙස බැහැර කල නොහැකිය. හේතුව වර්තමාන ජනාධිපතිවරයා එතරම් ජන්ද වලට ප්‍රිය නොකරන්නෙක් වීමයි. එබැවින් රංගේ ගේ සාහසික වදන් අස්සේ ඇති නීතිය කුමක්දැයි ලිහා ගැනීම වටී.
වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය දිගුකරගත හැකි ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83ආ අනු ව්‍යවස්ථාවේ පැහැදිළි කොට ඇත්තේය. එවැන්නක් කිරීමේ අභිලාශය සමනය කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලත්ව නියෝජිතයන් 150 දෙනෙකුගේ කැමැත්ත පළමුව ලබාගත යුතුය.
අනතුරුව එය ජනමත විචාරණයකට යොමුකොට ජනතා අනුමැතිය ලද යුතුය. පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත නොමැතිව ජනමත විචාරණයකට ද ප්‍රවේශ විය නොහැකිය. මෙය එලෙසම සිදුකරන්නේ නම් ඇසිය හැකි තවත් ප්‍රශ්ණයක් ඉතිරිව ඇත්තේය. එනම් ජනමත විචාරණයකට යෑම හා ජනාධිපතිවරණය අතර එතරම් වෙනසක් නොමැති බවයි.
සැබවින්ම රංගේ බණ්ඩාර යනු ශ්‍රී ලංකාව සර්වජන ජන්දය දිනා ගෙවී ගිය දින 34015 තුළ බිහිව ඇති ක්ශුද්‍රමය දේශපාලන පරිකල්පනයක් හෝ ස්වායක්තබවක් ඇති දේශපාලන ශරිරරයක් ඇත්තෙක් නොවේ. අවාසනාව වන්නේ කිසිදු බේදයකින් තොරව අනෙකුත් පුරවැසියන් හට ද එවැනි හිස් ප්‍රලාප අසන්නට සිදු වීමයි. කෙසේවෙතත් එයද ප්‍රජාතන්ත්‍රවාදයටම අයත් කරුණකි. රංගේලාගේ හඬ යටපත් වනු ඇත්තේ අපි කෙදිනක හෝ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය - ප්‍රජාතාන්ත්‍රිකරණයට ලක් කරන ලද දවසටය.
| මංජුල ගජනායක