සෙනසුරාදා, 01 ජූනි 2024 09:18

කෝටි 100ක මගඩි වාහන අල්ලස් කොමිසමට – කොළඹ මහෙස්ත්‍රාත්ගෙන් නියෝග Featured

රේගු බදු නොගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට පසුව එහි දත්ත මකා දමා ඇතැයි අනාවරණය වී ඇති රුපියල් කෝටි සියයකට ආසන්න වටිනාකමක් සහිත අතිසුඛෝපභෝගී වාහන හයක් වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙන ලෙස

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (31දා) නියෝග කළේය.

තම කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශන අනුව එකී වාහන මාතර, කුරුණෑගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිත කරන බව හා එහි ලියාපදිංචි හිමිකරුවන් පිළිබඳව සියලු විස්තර අනාවරණය වී ඇති බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂා සන්දම්මන්පෙරුම මහත්මිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එකී ජාවාරමට සම්බන්ධ සියලුදෙනාම තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටත්, ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

එකී වාහන භාර ගැනීමෙන් පසුව සිදු කරනුයේ කුමක් දැයි විමර්ශන නිලධාරීන් ්ගෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමසූ අතර වාහන ලියාපදිංචි හිමිකරුවන් ගෙන් ප්‍රකාශ සටහන් කර වාහන යළි රේගුවට භාර දීමට පියවර ගන්නා බව විමර්ශන නිලධාරීහු පැවැසූහ.

එවිට එම වාහන ශ්‍රී ලංකා රේගුව විසින් වෙන්දේසි කරනු ඇති බව මහෙස්ත්‍රාත්වරයා පැවැසීය. ඒවා නැවත එකී පුද්ගලයන් අතටම යෑමට ඉඩකඩක් නොමැත්තේ දැයි විමර්ශන නිලධාරීන් ගෙන් විමසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එතරම් නීතිවිරෝධී ලෙස සිදුකර ඇති එම මහා ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන අතරමඟ නතර නොකොට විධිමත් ආකාරයෙන් සිදුකර වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website