සදුදා, 27 පෙබරවාරි 2023 08:00

සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට.. Featured

ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම පනත තුළින් අනිෂ්ට ක්‍රියා කාරීන් විසින් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම පාලනය කිරීම ට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය න්‍යතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ න්‍යායාමන අධිකාරිය පිහිටුවීමට ද හැකිවන බවයි.

කනක හේරත් මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( CERT) සහ ලෝක බැංකුව ඒකාබද්ධව කොළඹ දී, සංවිධානය කළ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

කොළඹ කින්ග්ස්බරි හෝටලයේ මෙම වැඩ මුළුව සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් සිය දෙනෙකු ට ආරාධනය කර තිබුණි.මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය ත් සමඟ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇතිබවයි. ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සඳහා ලෝක බැංකුව ලබා දෙන තාක්ෂණික සහ විශේෂඥ උපදේශන සහාය ට ප්‍රසාදය පලකළ කනක හේරත් මහතා මෙම උත්සහය ශ්‍රී ලංකා ව, ඩිජිටල් පරිවර්තනයක් සඳහා පියවර තබන මොහොතක අතීශය වැදගත් බව ද පෙන්වා දුන්නේ ය.

“ඩිජිටල් කරණය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් වලින් පුරවැසියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා රජය දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පුද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම සඳහා වන දත්ත ආරක්ෂණ පනත සඳහා ඉකුත් 2022 වසරේ පාර්ලිමේන්තුවේ දී අනුමැතිය හිමි වූනා. ඒ යටතේ ලබන මාසය තුළ දත්ත ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කෙරෙනවා.

තවද සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය යටතේ සයිබර් ආරක්ෂණ පනත මේ වසර ඇතුළත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඩිජිටල්කරණය ත් සමඟ සයිබර් ආරක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා. එය ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, සහ පුරවැසියා ගේ පුද්ගලිකත්වය ඇතුළු රටේ විවිධ ක්ෂේත්‍ර වල සුරක්ෂිත භාවයට වැදගත් පියවරක් වෙනවා.

එමෙන්ම ලබන වසරේ මාර්තු මාසයේ සිට රාජ්‍ය ආයතනවල සියළු ගෙවීම් සහ අය කිරීම් ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඊට අදාල තාක්ෂණික මඟපෙන්වීම මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ, සියළු රාජ්‍ය ආයතන වෙත නිකුත් කෙරෙන බව පැවැසු හේරත් මහතා රටේ ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය සියළු ක්‍රියා මාර්ග ගෙන ඇතැයිද වැඩිදුරටත් පැවැසීය.”

මෙහිදී අදහස් දැක්වූ ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකර චියෝ කණ්ධා ( Ms. Chiyo Kanda ) මහත්මිය කියා සිටියේ වසර 70 ක පමණ කාලයක සිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ උන්නතිය සඳහා එක්ව කටයුතු කරමින් සිටින බවත් ඉදිරියේදී ත් එම සහාය අඛණ්ඩව ලබා දෙන බවයි.

ව‍ර්තමානයේ සයිබර් ප්‍රහාර වර්ධනය වීමේ ප්‍රවනතාවයක් තිබෙන බව සඳහන් කළ චියෝ කණ්ධා මහත්මිය ඒ අනුව පසුගිය 2021 ත් 2022 අතර කාලය තුළ ගෝලීය වශයෙන් සයිබර් ප්‍රහාර 38% කින් ඉහළ ගොස් ඇතැයිද කීවාය. මෙම තත්ත්වය පාලනය කර ගැනීම ට පිළියම් යෙදිය යුතු බවද
චියෝ කණ්ධා මහත්මිය කියා සිටියාය.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් සංවර්ධන විශේෂඥ ( Ms. Junko Narmatsu )මහත්මිය, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති රොහාන් මුත්තයියා මහතා, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කණිෂ්ක කරුණාසේන මහතා ඇතුළු, රාජ්‍ය අංශයේ නිලධාරීහූ එක්ව සිටියහ.

සිසිර විජේසිංහ
මාධ්‍ය ලේකම්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website