ඉරිදා, 02 ජූනි 2024 18:25

ජනතා අභිලාෂයන්ට පයින් ගැසූ පාලක පන්තිය බලයෙන් පහ කිරීමට මහජනතාව කටයුතු කලා - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ Featured

මීට වසරකට පෙර දොරට වැඩි එක්සත් ජනරජ පෙරමුණ වසරක් වූ කෙටි කාලයක් තුළ විශාල පක්ෂයක් බවට පත් කිරීමට වෙහෙස මහන්සි වූ සියළු දෙනාටම ස්තුතිය පල කරන බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජනරජ ජාතික මහා සමුළුව ඒ මහතා ප්‍රකාශ කළේ ජනතා අභිලාෂයන්ට පයින් ගැසූ පාලක පන්තිය බලයෙන් පහ කිරීමට මහජනතාව කටයුතු කළ බවය. පසුගිය දසක කිහිපය තුළ අප ලබාගත් ආර්ථික, සමාජීය හා දේශපාලනික ජයග්‍රහණ ලබාගෙන ඇතත්, මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික බංකොළොත්භාවයකට ඇදහෙලා තිබේ.

එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යනුවෙන් නම් කරන ලද පොදු අවම ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිගන්නා වූ ද, රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම ට සෘජුව දායක නොවූවා වූද, සාමූහික නායකත්වයක් පිළිබඳ විශ්වාස කරන්නාවූ ද, සියලු බලවේග පුලුල් දේශපාලන සන්ධානයකට එක්වීම සඳහා වූ දේශපාලන යෝජනාව සභාපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලදී.

එම දේශපාලන යෝජනාව මෙසේය.

එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන 'දේශය වෙනුවෙන් එක් පියවරක්' යනුවෙන් නම්කරන ලද පොදු අවම ප්‍රායෝගික  වැඩපිළිවෙළ පිළිගන්නා වූද, රට ආර්ථික වශයෙන් බංකොළොත් කිරීමට සෘජුුව  දායක නොවූවා වූද, සාමූහික නායකත්වයක් පිළිබඳ විශ්වාස කරන්නා වූද, සියලු දේශපාලන බලවේග පුලුල් දේශපාලන සන්ධානයකට එක්ව 2024 වර්ෂයේ හා අනතුරුව  පැවැත්වෙන ජනාධිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙමින් ජනතාවට සකාලාකාරයේ යුක්තිය අත්පත් කර දෙන ප්‍රජාතන්ත්‍රවාදී මහජන (රජයක්) බලයක් ගොඩනැගිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ මහා සමුළුව යෝජනා කර සිටී.

ජනරජ ජාතික සමුළුව අමතා සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සිදු කරන ලද කතාව;

“වන්දනීය පූජා පූජක උතුමන් වහන්සේලාගෙන් අවසරයි. ගරු දේශපාලන පක්ෂ නායකතුමන්ලා සහ නියෝජිතයින්ගෙන් අවසරයි. සමාජ වෘත්තික වෘත්තීය සංවිධාන නායකවරුන් හා නියෝජිතයන්ගෙන් අවසරයි. අප පක්ෂයේ නායක ගරු පාඨලී චම්පික රණවක මැතිතුමන්, මධ්‍යම කාරක සභිකයන් ජාතික මණ්ඩල සභිකයන් දිස්ත්‍රික් හා ආසන සහ දිවයිනේ හතර දිගින් පැමිණි සියලු සාමාජිකයන්ගෙන් අවසරයි,

මුලින්ම මා දෙවන වරටත් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති ලෙස පත් කර ගැනීම පිළිබඳව අප පක්ෂයේ සියලු සාමාජිකයන්ට මාගේ ස්තූතිය පිරිනමනවා. මීට වසරකට පෙර මැයි මස විසි දෙවෙනි දින දොරට වැඩි අප පක්ෂය වසරක පමණ කෙටි කාලයක් තුළ විශාල පක්ෂයක් බවට පත්කිරීමට වෙහෙස මහන්සි වූ ඔබ සැමට පක්ෂය වෙනුවෙන් මා සිරස නමා ආචාර කරනවා. පසුගිය වසරේ සමුළුවේදී මා ප්‍රකාශ කළා මේ රටේ ජනතාව ජරාජීර්ණ වූ සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමේ අභිලාෂයෙන් සිටින බවත් ඒ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා වූ දේශපාලන පක්ෂය අප එදින බිහි කළ බවයි ඒ අරමුණ සිතේ දරා අප පක්ෂයේ වැඩ කළ නිසා අද අපට මෙවන් සාර්ථක සමුළුවක් කැඳවීමට හැකිවී තිබෙනවා. අනාගතය කරා අධිෂ්ඨාන පූර්වකව වැඩ කරන අප අප රටේ මෑත අතීතය ගැනද නිවැරදි දැක්මකින් යුතුව වැඩ කරමු. 1932 දී සර්වජන ඡන්ද බලය හිමිකරගත් අප අද ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙනුවෙන් මේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට අපි දිවිහිමියෙන් ඇපකැප වෙනවා.

1943 වසරේදී ඇති වූ නිදහස් අධ්‍යාපනය නිසා එදා අතලොස්සකට සීමාව තිබුණු ඒ යාපනය අද බහුජන උරුමයක් වෙලා තියෙනවා. අපේ පක්ෂය මේ නිදහස් අධ්‍යාපනය සුරැකීමට ද ඇපකැප වී ඉන්නවා. එසේම ලංකාව පුරා පැතිර තිබෙන නිදහස් සෞඛ්‍ය සේවය නිසා පසුගිය වසර අසූව තුළ මේ රටේ ජීවන මට්ටම අවුරුදු තිහේ සිට හැත්තෑ අට දක්වා වැඩි තියෙනවා. ඒ වගේම අපි ඉතාමත් හොඳ සෞඛ්‍ය දර්ශක ඇතිකර ඇති කරගෙන තියෙනවා. ඒ නිදහස් සෞඛ්‍ය සේවයත් සුරැකීමට අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම පසුගිය වසර හැත්තෑව තුළ අපගේ රටේ ජනතාවගේ ජීවන මට්ටමද ඉහළ මට්ටමකට පැමිණිලා තියෙනවා.

අද අපි දකුණු ආසියාවේ ඉහළම ජීවන මට්ටම හිමිකරගෙන තියෙන රට බවට පත්වෙලා තියෙනවා. මෙවැනි නිවැරදි දැක්මක් අපගේ මෑත අතීතය ගැන අප ඇති කරගෙන තියෙනවා. නමුත් වැරදි කළමනාකරණය, දූෂිත දේශපාලනය, නාස්තිය. දකුණේ තරුණ කැරලි දෙක උතුරේ යුද්ධයත් නිසා අපගේ ආර්ථිකය අද ඇද වැටිලා තියෙනවා. උතුරේ යුද්ධය අවසන් වූ පසු මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා මේ රටේ නවීන සමාජ, ආර්ථික දේශපාලන ක්‍රමයක් ඇතිවෙයි කියලා. නමුත් ඒ අභිලාෂයට පයින් ගැසූ පාලක පන්තිය අද ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා, තමන් ඒ කල දේ ප්‍රතිවිපාක විදිමින් ඉන්නවා.

මේ පාලක පන්තිය වෙත ජනතාව තුල ඇති කෝපය වෛරයක් හෝ ක්‍රෝධයක් බවට පත් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එසේම මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත් වන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමත්, මේ රටේ බහු පක්ෂ දේශපාලනය සුරැකීම. එසේම, මේ අවස්ථාවේදී අප අමතක කළ යුතු නැහැ පසුගිය දශක කිහිපය තුළ අපි යම් සමාජ, ආර්ථික ජයග්‍රහණයන් අත්පත් කරගෙන සිටින බව. අපගේ ආදරණීය මාතෘ භූමිය දැනට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. සියලු දෙනාටම සමගියෙන් ජීවත් විය හැකි අසිරිමත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා අපගේ පක්ෂය අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය, කුසලතාවාදය යන ජනරජවාදී වටිනාකම් පහ ආර්ථික සමෘද්ධි තිරසර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ ප්‍රතිපත්ති යන ජනරජවාදී ප්‍රතිපත්ති පහ මත පදනම්ව නව ජනරජවාදී දේශපාලන පර්යායක් බිහි කිරීමේ අරමුණ සහිතව අප විසින් නිර්මාණය කර තිබෙන මේ අභිමානවත් දේශපාලන පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ හි ප්‍රථම වාර්ෂික මහ සමුළුවට අපගේ දේශපාලන යෝජනාව මම මෙසේ ඉදිරිපත් කරමි.”

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website