යෝජිත විදුලිබල පනත ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය විදුලි මාෆියා ගණනාවක ග්‍රහණයට නතුවීමට නියමිත බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
අද (06) පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;
“අද මේ විදුලිබල මණ්ඩලය කොටස් 12 කට, සමාගම් 12 කට වෙන් කිරීමේ මේ පනත් කෙටුම්පත පිළිබඳව අපි සළකා බලන්න ඕනේ, රජය, ආණ්ඩුවේ ආයතන පිළිබඳව අරගෙන තියෙන ව්‍යාපාර හා අනෙකුත් රාජ්‍ය ආයතන ගැන අරගෙන තියෙන, ප්‍රතිපත්තියට අනුකූලවයි. අද රටේ, රාජ්‍ය ආයතන 1200 ක් තියෙනවා. මීට අවුරුදු 100 කට කළින් මේ රටේ රාජ්‍ය ආයතන 10 යි තිබුණේ. මේ රාජ්‍ය ආයතන පිළිබඳ සමස්ත ඇගයීමක් කරලා ඒ රාජ්‍ය ආයතන ප්‍රමාණය අඩු කරන්න, ඵලදායිතාවය වැඩි කරන්න ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ, විද්‍යාත්මක කළමනාකරණ විගණනයක් කළ යුතුව තිබුණා. මේ ගැන අපි කෝප් සභාවේ යෝජනා කරලා, මුදල් අමාත්‍යාංශයේ යම් විගණනයක් ආරම්භ කරලා කරගෙන ගිහින් තිබුණා.
අපි අඳුනගන්න ඕනේ දැනට බෝඩ් ලෑලි හැටියට තියෙන රාජ්‍ය ආයතන කීයද? ඒවා වහන්න. ඒ වගේම සමහර රාජ්‍ය ආයතන එකම ක්‍රියාවලියට තුන හතරක් තියෙනවා. ඒවා එකතු කරන්න. සමහර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න. තවත් සමහර රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන අතරේ සම්බන්ධයක් ඇති කරන්න, රාජ්‍ය - පුද්ගලික සම්බන්ධයක් එකක් ඇති කරන්න. තවත් සමහර රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න. මෙවැනි විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය නොකර අතනින් ටෙලිකොම් එක විකුණනවා. මෙතනින් රක්ෂණය විකුණනවා. මෙතනින් ගෑස් විකුණනවා. මෙතනින් විදුලිබල මණ්ඩලයේ කොටස් කරන මේ ක්‍රියාවලියෙන් මේ රාජ්‍ය සේවය ඉදිරියට යන්නේ නෑ.
හුඟාක් දෙනෙක් හිතන් ඉන්නවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය වැනි දෑ ගෙන ඒම සඳහා, යහපාලන මූලධර්ම ගණනාවක් අඳුන්වලා දුන්නා. මේ සභාපතිලා, අධ්‍යක්ෂ මණ්ඩල, මේවා පිළිබඳ වෘත්තීය ප්‍රවේශයක් ගන්න කියලා ඒ වගේම මේවා පිළිබඳව කිසියම් ආකාරයක කාර්ය සාධන ඇගයීමක් කරන්න කියලා. ඒ කිසිවක් කරන් නැතුව තැනින් තැනින් කරගෙන යන මේ ක්‍රියාවලියෙන් මේ රාජ්‍ය ආයතන පද්ධතිය මීටත් වඩා බරපතළ අර්බුදයකට යනවා.
පළවෙනි මාස පහේ ලංකා විදුලිබල මණ්ඩලය අතිරේක වශයෙන් බිලියන අනූවක් ඒ කියන්නේ කෝටි නමදාහක් උපයලා තියෙනවා. ආසන්න වශයෙන් ලක්ෂ හැත්තෑ පහක් වන විදුලි පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර රුපියල් දොළොස් දාහක් මේ කාල සීමාවේ අරන්. මේක අපි එපා කිව්වා මේ විදිහට ලංකා විදුලිබල මණ්ඩලයේ මේ අධික ගාස්තු අය කිරීම. අද ඇමතිතුමා ප්‍රකාශ කළා ගාස්තු අඩු කරනවා කියලා. නමුත් මහජන උපයෝගීතා කොමිසමට මේ දක්වා එවැනි ලියවිල්ලක් ඇවිල්ලා නෑ. කෙසේ නමුත් මේ ක්‍රියාවලිය ඒකක හැටට වඩා අඩුවෙන් පාවිච්චි කරන දුගී ජනතාව ඒ වගේම මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව නැතිවෙලා යනවා. අපිට සමකාලීන අනිත් කලාපීය තත්වයන් ගැන බැලුවහම විශේෂයෙන්ම වියට්නාමයට ප්‍රධාන ආයතන ගමන් කරන්න ප්‍රධාන හේතුව, සියයට හතළිහකින් පමණ විදුලිබිල, ඒ ක්ෂේත්‍රවල අඩු නිසා. අධික ලාභ ඉපයීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය සාධනය වැඩි කරන්නෙත් නැතුව ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම දුක් දෝමනස්සයන් පාරිභෝගිකයන් පිට පැටවීම සම්පූර්ණයෙන්ම වැරදියි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතුද? ඔව්. එහෙමනම් ඒක කරන්න ඕනේ කොහොමද? මොනවද පාවිච්චි කරන්න ඕනේ මූලධර්ම. පළවෙනි දේ තමයි මෙවැනි ක්‍රියාවලියක දී මේ විදුලිබල සපයන්නා. ඔහු එක ප්‍රධානසාධකයක්. ඒ වගේම විදුලි පරිභෝජකයා. ඒ දෙවෙනි සාධකය. ඊළඟට මේ විදුලිබල ප්‍රතිපත්තිය, බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ආණ්ඩුව, විධායකය, ඇමති මණ්ඩලය හා ඒ ප්‍රතිපත්ති සැකසුම් ක්‍රියාවලිය. ඒ වගේම අවසාන වශයෙන්, පාරිභෝගිකයත්, විදුලිබල සපයන්නත්, ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක, රටේ ඉදිරි ගමන ගැන කල්පනා කරලා බලලා, මේ සියල්ල නියාමනය කරන නියාමන ක්‍රියාවලිය. මේ කොටස් හතර අතර, සමබරතාවය බිඳුනොත්, මේ සමබරතාවය බිඳිලා එක පැත්තකට ඇදිලා ගියොත්, දැන් මේ පනතෙන් බොහෝ දුරට ප්‍රතිපත්ති සකසන්නාට, ඇමතිතුමාට විධායක බලයට විශාල බලයක් හිමිවෙනවා විතරක් නෙවෙයි, නියාමන අධිකාරියට, පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා දෙදාස් නමය වසරේ පනතෙන් ලබාදීපු විශාල බලතල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව ප්‍රතිපත්තිමය වශයෙන් මේ සමමිතිය සම්පූර්ණයෙන්ම මේ පනතෙන් බිඳවැටිලා.
විදුලිබල මණ්ඩලය, කොටස් වලට වෙන්කිරීම සඳහා, 2002 යෝජනාවක් ආවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය වෙන් කරන්නේ ජනනයට, සම්ප්‍රේෂණයට, බෙදාහැරීම් ආයතන හතරකට. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. 2009 දක්වා ඒක ඇදගෙන ආවා. මොකද විදුලිබල පනත ඊට සමානුරූපීව වෙනස් කළේ නෑ. ඒ වෙනස් කළෙත් ඉතාම අවස්ථාවාදීව, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයක් බලාපොරොත්තුවෙන්. එහෙම නැතුව මේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් නෙවෙයි. කොහොම නමුත්, ඒ ක්‍රියාවලිය මීට වඩා සරලයි. ඒ ක්‍රියාවලියත් එක්ක බලනකොට මේ ඉදිරිපත් කරලා තියෙන දේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්.
මේ විදුලිබල ක්ෂේත්‍රයේ කවුද වගකියන්නෙක් නෑ. අද විදුලිබල මණ්ඩලය කියලා ඒකකයක් තියෙනවා. විදුලිය අත්හිටවීමකදී, විදුලි කප්පාදුවකදී, එහෙම නැත්නම් විදුලි බිඳ වැටීමකදී, කිසියම් දුරකට ඒ පාරිභෝගිකයන්ට වගකියන, නමුත් මේ ආයතන දොළහෙන් කවුද කාටද වගකියන්නේ කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා.
ඒ පනතෙන් වෙනස් වෙන, මේ සම්ප්‍රේෂණ ක්‍රියාවලියට පුද්ගලික අංශය ගෙනල්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. පුද්ගලික අංශය දැනුත් ඔය කුඩා කුඩා විදුලි ව්‍යාපාර, විදුලි ව්‍යාපෘති කරනකොට එවැනි දේ කරනවා. නමුත් විදුලිය පිළිබඳ කාරණයේදී, විදුලි ඒකාධිකාරයන් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැළැක්වීමට, රජයට තියෙන මූලිකම අංගය තමයි, සම්ප්‍රේෂණය රජය සතුවීම. ඒ ක්‍රියාවලිය වෙනස් වුනොත් අනිවාර්යෙන්ම මේ විදුලි ඒකාධිකාරයක් ඇති වෙනවා. විදුලිබල ක්ෂේත්‍රයේ නෙමෙයි බලගතු ඒකාධිකාරියන් නතර කරන්න රජයට තියෙන ලොකුම අවිය තමයි සම්ප්‍රේෂණය රජය සතු කර ගැනීම. මේ සම්ප්‍රේෂණය පිළිබඳ ක්‍රියාවලිය රජය සතු විය යුතුමයි.
මෙතන සමාගම් දෙකකට කඩලා තියෙනවා. එකක් විදුලි පද්ධති ඒ කියන්නේ වයර් සිස්ටම් එක දීලා තියෙනවා රජයේ 100% තියෙන කොම්පැනියකට. ඒ වගේම ඩිස්පැච් එක ඇතුළු අනෙකුත් ක්‍රියාවලිය 50% ක් රජයට තියෙන ව්‍යාපාරයකට දීලා තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය කාලයේ පාඩු ලබන්න ඒ වගේම නොයෙකුත් ආකාරයේ දූෂණ ක්‍රියාවලියකට විශාල වශයෙන් යොමු වුණේ මෙය ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ විශාල ව්‍යාකූලතාවයන් නිසා. මේ ක්‍රියාවලිය තුළ රටේ විදුලිබල පද්ධතිය පාලනය කරන්න නොහැකි තත්ත්වයකට අනාගතයේ යන්න පුළුවන්.
මේ විදුලිබල පනතේ තියෙන විශේෂත්වය තමයි 2002 පනතට වඩා ඕනෑම කෙනෙකුට ජනනය කරලා විදුලිබල පද්ධතිය පාවිච්චි කරලා තමන් ඕනෑම තැනකට විදුලිය ගෙනියන්න ඉඩකඩ තියෙනවා. ඒකට නිල භාවයක් ලබාදීලා තියෙනවා. මේක තුළින් මොන විදිහේ ප්‍රතිඵල ඇති වෙයි ද කියන්න බැහැ. නමුත් අර 2002 පනතට වඩා තියෙන මූලිකම වෙනස මේ ක්‍රියාවලියයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ නියැලුනු කෙනෙක් හැටියට,මේ සංවාදයට දායක වූ කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේදී අනතුරු අඟවනවා, අවිධිමත් ආකාරයට හෝ විධිමත් ආකාරයට හෝ මේක ක්‍රියාත්මක කළහොත් තව අවුරුදු කීපයකින් ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය මාෆියාවලට අසු වූ ක්‍රියාවලියක් බවට පත්වෙන්න තියෙන අනතුර වැඩියි. ඒ නිසා කරනවා නම්, අර 2002 පනතේ තියෙන අඩුපාඩු ගැන කල්පනා කරලා බලලා, ඒ ආකාරයට සිදු කිරීම තමයි සිදු කළ යුත්තේ.”