නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 දී ප්‍රථම උපාධියත්,අවුරුදු 23දී පශ්චාත් උපාධියත්, අවුරුදු 27දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමක් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සිදු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ජූලි මාසය අවසන් වන විටදී සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කරමින් ඩිජිටල්කරණය කරන බව ද ඇමැතිවරයා පැවසීය.
පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කොළඹ නාලන්ද විද්‍යාලයේ ඊයේ (06) පැවති සමාරම්භක උලෙළට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල් ගත වෙමින් පැවතීම නිසා අධ්‍යයන කටයුතු අතපසු වෙමින් යෑමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පාසල් දරු දැරියන් පත්වෙමින් සිටින නිසයි. පෞද්ගලික අයැදුම්කරුවන් සමඟ 337,000ක පමණ දරුවන් සංඛ්‍යාවක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.ඉන් 280,000ක පමණ පිරිසක් පාසල් සිසුන්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට සාමාන්‍යයෙන් මාස තුනහමාරක පමණ කාලයක් ගත වන නිසා එතෙක් පාසල් නොපැමිණ සිටීමට දරුවන්ට සිදු වෙනවා.දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා තවදුරටත් තහවුරු වන පරිදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි වහාම උසස් පෙළ විෂය ධාරාවල පන්ති ඔවුන් වෙනුවෙන් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙවර පියවර ගත්තා.
කොවිඩ් සමයේ අතපසුව පැවති විභාග කාලසටහන හා පාසල් වාර සටහන් යථාවත් කිරීමට ද මෙය සෘජුවම බලපානවා.මේ පියවර ගැනීමේ දී අධ්‍යාපනඥයන් ඇතුළු විවිධ විද්වතුන්ගේ ද අදහස් සමාලෝචනයට බඳුන් කළා.
මේ ක්‍රියාමාර්ගය නිසා දරුවන් නිවසේ රැඳී සිටිමින් නිකරුණේ කාලය ගත කිරීමට සිදු වන අවකාශය ඇහිරෙනවා. කලා,වාණිජ,විද්‍යා සහ තාක්ෂණ විෂය ධාරා යටතේ උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කළා.එය සිදු කරනුයේ ගුරු මාර්ගෝපදේශ හා සිසු කැමැත්ත මතයි. ප්‍රතිඵල නිකුත් වූ විට සියයට පහක,දහයක පමණ ප්‍රතිශතයකින් මේ උසස් පෙළ අධ්‍යයන කටයුතුවල නිරත දරුවන්ගේ සංඛ්‍යාව වෙනස් විය හැකියි. එම වෙනස්වීම වෙනත් වර්ෂවලත් සිදුවෙනවා. එක වර උසස් පෙළ අධ්‍යයන කණ්ඩායම් දෙකක් පාසලේ සිටීම නිසා ඉඩකඩ වැනි භෞතිකමය ගැටලු මාස තුනක පමණ යම් සීමිත කාලයකට මතු විය හැකියි.
සමහර ප්‍රදේශවල උසස් පෙළ හදාරන දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම අවම වීම මත මේ තත්ත්වයේ යම් යම් වෙනස්කම් සිදු විය හැකියි.විදුහල්පතිවරුන් හා ගුරුවරුන් එම ගැටලු මනාව හඳුනාගෙන තිබෙනවා.ගුරුවරුන්ගේ විෂය කාලසටහන් ගැටලු ද මෙහිදී මතු විය හැකියි.නමුත් මේ සියල්ල සිසුන්ගේ ගැටලු බවට පත් නොකර පරිපාලනය විසින් ඒවා යථා පරිදි කළමනාකරණය කිරීමට නායකත්වය දිය යුතුයි.
වර්තමාන ලෝකය රාජ්‍ය පරිපාලන අවධිය පසු කර කළමනාකරණ යුගය ද ඉක්මවා නායකත්ව යුගයකට පිවිස සිටින අවස්ථාවක අධ්‍යාපන ක්‍රමයේ ද වෙනසක් අත්‍යවශ්‍යයි. දැනුමින් පිරි වත්මන් සමාජයේ අත්‍යවශ්‍ය දැනුම තෝරා බේරාගෙන ප්‍රායෝගික භාවිතයට ගැනීම පිළිබඳ ගැටලුවක් පවතිනවා.
වෙනත් දියුණු රටවල අධ්‍යාපන මට්ටම්වලට ද උචිත පරිදි ඉදිරියේදී ස්ටෙම් – ස්‍ටීම් අධ්‍යාපන ක්‍රමවේද භාවිතය අපේ පාසල් පද්ධතියට යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි ජූලි මාසය අවසන් වන විට සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරනවා.ඒ සඳහා ප්‍රමුඛ පාසල් 1500ක් පමණ ජාලගත කිරීමක් කරනවා. මේ වන විට ආරම්භ කර ඇති කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට පාසල්වලට මුදා හැරීම සිදු කරනවා.එසේම ඊට අවශ්‍ය ‘ස්මාට් බෝඩ්’ භාවිතය, අන්තර්ජාල ආදී දැනුම් මූලාශ්‍ර භාවිතයෙන් දැනුම යාවත්කාලීන කරගැනීමේ පරිචයක් ලැබෙන පරිදි අවශ්‍ය ගුරු පුහුණුවීම් දිය යුතුයි.ඒ අතර ගුරුවරුන්ගේ ලෙඩ නිවාඩු ගැනීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ද මුහුණ දීම වශයෙන් උද්ගත වන අභියෝග ජයගත යුතුව ඇත්තේ ලෙඩ නිවාඩු දැමිය නොහැකි දරුවන්ගේ අයිතිවාසිකම් රැකදීම වෙනුවෙනි.
DN