සිකුරාදා, 14 ජූනි 2024 12:54

IMF දිගින් දිගටම පෙන්වා දුන්නේ නාස්තිය හා දූෂණය වහා නතර කිරීමට පියවර ගැන්නා ලෙසයි - කරු ජයසූරිය Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් තෙවැනි වාරිකය ද නිකුත් කර තිබීම රටේ යහපතට අදාලව සැළකීමේ දී ඉතාමත්ම වැදගත් වන බව අපගේ විශ්වාසයයි. එමෙන් ම එකී මුදල රටේ උන්නතිය වෙනුවෙන් යොදාගැනීම ජාතික වගකීමක් ලෙස සලකන්නෙමු. ආර්ථික වශයෙන් රට බලවත් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති කාල වකවානුවක මේ රටේ ජනතාව සිදු කරන ලද දැවැන්ත කැපකිරීම  සැළකීමේ දී රටට ලැබෙන සෑම සතයක් ම වගකීම් සහගත හා ඵලදායක අන්දමට යොදාගැනීම අත්‍යාවශ්‍ය වී තිබේ.

මෙහිදී වහා සිදුවිය යුතු කරුණු කිහිපයක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.

පළමු හා හදිසිම අවශ්‍යතාවය වනුයේ IMF විසින් දිගින් දිගටම පෙන්වා දුන් නාස්තිය හා දූෂණය වහා නතර කිරීමට පියවර ගැනීමයි.

එමෙන් ම දශක හතක කාලයක් තිස්සේ අතපසු කරමින් සිටින 15000ක් පමණ වන සියළුම ඉපැරණි වැව්  ප්‍රතිසංස්කරණය කර නවීන කෘෂිකර්ම ක්‍රමවේද  උපයෝගී කරගනිමින්  වර්තමානයට ගැලපෙන ආකාරයට සකස් කිරීම වැදගත් වේ. මේ සඳහා විවිධ අන්තර්ජාතික අරමුදල් වලින්,  මිත්‍ර රටවලින්, පෞද්ගලික අංශයෙන් හා යුද හමුදාවේ ශක්තියෙන් ද සහය ලබාගත හැකි බව අපි විශ්වාස කරන්නෙමු. මේ තුළින් විප්ලවීය වෙනසක් සිදු කල හැකිය.

අනෙකුත් ප්‍රධාන කාර්යය වනුයේ අපනයන ක්ෂේත්‍රය වහා වේගවත් මාර්ගයකට යොමු කිරීමයි. 1990 දශකයේ දී   "Export or Perish" "අපනයනය කරනු නැතිනම් වැනසෙනු" යන තේමාව යටතේ විශාල වැඩසටහනක් දියත් වූ අතර විදේශීය ගැණුම්කරුවන් පන්දාස් හයසියයක් සහභාගී වූ “Expo 92” නමින් අති සාර්ථක අන්තර්ජාතික වෙළද ප්‍රදර්ශනයක් සහ ඒ් යටතේ අපනයන ගම්මාන (Export Villages) සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි. මේ හේතුවෙන් තෝරාගත් ගම්මාන කිහිපයක ජනතාව ඉහළ ආදායම් ලබාගත් අතර වර්තමාන තත්ත්වය සැලකීමේ දී මෙ වන විට සාර්ථකව පවත්වාගෙන යමින් සිටින  සුපිරි වෙළඳසැල් ජාලවල ද සහයෝගය ලබාගනිමින් විශේෂිත  අපනයන ගම්මාන ඇතිකරගත හැකිය.

එමෙන් ම මෙහිදී අපනයන සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය සම්පත් හා බලතල ලබාදී ඔවුන් ශක්තිමත් කළ යුතුය. තාක්ෂණය දියුණු වූ කාලයක ප්‍රදර්ශන අවශ්‍ය නොවුනත් ශ්‍රී ලංකාව අපනයන කටයුතු සීඝ්‍ර ලෙස ඉහළ යන රටක් වශයෙන් ප්‍රචාරය කළ හැකිය.

මේ සමගම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ද ගොඩනැගීම වැදගත් වේ. එහිදී සහන පොලියට මුදල් ලබාදීමත් බිම් මට්ටමේ පහසුකම් සැපයීමත් අත්‍යවශ්‍ය වේ. ඉන්දියාවේ මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයා විසින් IT/ BPO සංකල්පය දියුණු කිරීම හරහා ඉන්දියාවේ තරුණ ප්‍රජාවකට නව මඟක් සකස් වූ ආකාරය එහිදි සිහිපත් කිරීම වැදගත්ය. මෙය ශ්‍රී ලංකාවේ පහසුවෙන් ප්‍රචලිත කළ හැකි සංකල්පයකි.

මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපේක්ෂාවය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website