සදුදා, 17 ජූනි 2024 09:23

ජාතික පොසොන් සතිය අද සිට ඇරැඹේ Featured

ශ්‍රී මහා බෝධිය පුදබිමේ සති පිරිත් දේශනයක්

අනුරපුරේ සුරාසල් මස්කඩ වසයි

20දා සිට පාසල් 12ක් නිවාඩු

අනුබුදු මිහිඳු නා හිමි සමරමින් පවත්වනු ලබන ජාතික පොසොන් සතිය අද (17) සිට ආරම්භ වේ. හතළිස් පස් වැනි වරට මෙවර පැවැත්වෙන සති පිරිත් පින්කම සඳහා අද සිට විසි පස්වැනිදා (25) දක්වා දින නවයක කාලයක් වෙන් කර තිබේ. අද පස්වරුවේ ඉසුරුමුණිය රජමහා විහාරයේ සිට මහා විහාරය දක්වා දාහත්වැනිදා සවස පැන් පෙරහරෙන් මෙම පුණ්‍ය කටයුත්ත ආරම්භ වේ. ඊට පසු දිනයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදබිමේ ඉදිකරන ලද විශේෂ පිරිත් මණ්ඩපයේදී සති පිරිත් දේශනය ආරම්භ කරයි. විසි තුන්වැනිදා සවස් භාගයේදී තල්පත පේ කිරීම සිදු කරයි. මෙය සතිපිරිත් පින්කමේ විශේෂ අවස්ථාවක් වශයෙන් දැක්විය හැකිය. විසි හතර (24) වැනිදා නගරය වටා පිරිත් පැන් ඉසීම සිදු කරන අතර සවස දේවදූත පෙරහර හා දොරකඩ අස්න දේශනය සිදු කරයි. අවසන් දිනය වන විසි පස් (25)දා දහවල් දානමය පින්කමෙන් සතිපිරිත් පින්කමේ කටයුතු අවසන් කරයි. අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන මෙවරත් පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතියි. පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු සියලු යටිතල පහසුකම් සපුරාලීමට පොසොන් කමිටුව පියවර ගෙන තිබේ. පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසල් හා මස්කඩ වසා තැබේ.

ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහක් විසි වැනිදා(20) සිට නිවාඩු ලබා දී තිබේ. පොසොන් සතිය තුළ විශේෂ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා මෙම පාසල් ලබා දීමට උතුරුමැද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව එළඹෙන විසි වැනිදා සිට විසි තුන් වන දින දක්වා මෙම පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.

මෙහි දී අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලය, අ/ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය, අ/ වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, අ/ විවේකානන්ද මහා විද්‍යාලය, අ/නිවත්ත චේතිය මහා විද්‍යාලය, අ/ දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, අ/මහා බෝධිය විද්‍යාලය, අ/සහිරා මහා විද්‍යාලය, අ/තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය සහ ගලෙන්බිඳුණු වැව අධ්‍යාපන කලාපයට අයත් අ/ මිහින්තලය මහා විද්‍යාලය, අ/ කම්මලක්කුලම විද්‍යාලය, අ/පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය සඳහා නිවාඩු ලබාදී තිබේ. අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජාතික පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website