බදාදා, 19 ජූනි 2024 09:08

කලා කෘති වාරණයට පොලිස් මැදිහත් වීමේ පෙරනිමිති දීපචෙල්වන් පිරදීපන් සිදුවීමෙන් පිළිබිඹු වෙයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Featured

දෙමළ බසින් සාහිත්‍යකරණයේ නිරත, දීපචෙල්වන් පිරදීපන්ගේ නවතම කෘතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකතනය ඔස්සේ විමසීම් සිදු කිරීමද, කිලිනොච්චි පොලීසියට කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කිරීමද කනගාටුදායක සිදුවීමක් මෙන්ම නිර්මාණ සාහිත්‍ය වාරණය කෙරෙහි පොලිස් ඇස යොමු වීමේ පෙරනිමිත්තක් ලෙස දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

ශ්‍රී ලාංකීය දෙමළ සාහිත්‍යයේ පුනර්ජීවනයට තුඩු දී ඇති දීපචෙල්වන්ගේ නිර්මාණ පරිවර්තනය වී ඇති බැවින් සිංහල බසින් කියවන සාහිත්‍යකාමීන්ටද ඔහු ආගන්තුකයෙකු නොවේ. පසුගියදා එළිදැක්වූ ඔහුගේ නවතම නිර්මාණය “භයගරවාදී” “ත්‍රස්තවාදියා” නවකතාවෙහි අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි පිටපතක් එවන මෙන් දැනුම් දී ඇති අතර කිලිනොච්චි පොලීසියට කැඳවූ අවස්ථාවේදීද එම කෘතියේ සඳහන් කරුණු සැක සහිත බවත් කොටි සංවිධානය නැවත ගොඩනැගීමට එමගින් උත්සාහ ගන්නා බවටත් චෝදනා නගා ඇත.

ශ්‍රී ලංකාවේ පැවති හා පවත්නා දේශපාලන සන්දර්භය පිළිබඳවද අවධානය යොමු කෙරෙන දීපචෙල්වන්ගේ කෘතියට පාදක වන්නේ යාපනය විශ්ව විද්‍යාලයෙහි සිදු වූ ඝාතන හා යුද්ධයට ඍජුව මුහුණ දුන් තරුණයෙකුගේ මනඃකල්පිත චරිතයකි. සාහිත්‍යමය උපකල්පනයක් වන එය හරහා පිළිබිඹු වන්නේ පීඩක දේශපාලන බල සමාජයේ හිංසක රූපයයි. ඒ සම්බන්ධයෙන් කතා කිරීමට නිර්මාණකරුවාට නිදහස තිබිය යුතු අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරන්නේ සැබෑ සංහිඳියාව හා වාර්ගික ඒකාබද්ධතාවට එවැනි නිර්මාණ මගින් සිදුවන භාව විරේචනය වැදගත් වන බවයි.

එසේම සාහිත්‍ය කෘතියක අන්තර්ගතය විචාරීමට හා එවැන්නක සමාජ බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා පොලීසියට ඇති විශේෂඥ කුසලතාව ප්‍රශ්න කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ, මෙවැනි පොලිස් මැදිහත් වීම් දෙමළ සමාජය උතුරු දකුණු ධ්‍රැවීකරණය තුළ තවත් ඈතට තල්ලු කිරීමට හේතු වන අතර ප්‍රකාශනයේ නිදහසට අයත් නිර්මාණ සාහිත්‍යකරණයට ඇති අයිතිය වාරණයට ලක් කිරීම පිළිබඳ සැක සංකා ඇති කරන බවයි.

එම නිසා අදාළ සිදුවීම අනවශ්‍ය පොලිස් මැදිහත් වීමක් ලෙස සළකා හෙළා දකින අතර දීපචෙල්වන් පිරදීපන් සාහිත්‍යවේදියාගේ නිර්මාණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සපථ කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website