බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 10:23

උද්ධිකගේ රංගාවතරණය Featured

දශක පහක තම ප්‍රතිභාපුර්ණ රංගයෙන්  ශ්‍රී ලාංකේය සිනමාව ඔපවත් කල,  තෙදවත් රංග පෞරෂයක් හිමි ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා හෙවත්  රවින්ද්‍ර රන්දෙනිය පසුගියදා ඉමහත් හරසර ලද්දේ ඔහුගේ අනූපමේය සිනමා භාවිතය නිසාවෙනි.

එකී  රවින්ද්‍ර රන්දෙනිය - රංගාවතරණයේ අසිරිය අප රටවැසි සිනමා ලෝලී ප්‍රේක්‍ෂක සමූහයාගේ  මුවින්මුව රැව් දෙවන  - හදින් හද යා වියයුතු එකක් බව අවිවාදිතය. එහෙත් ඒ විශිෂ්ඨ රංගධරයා ද සැනෙන් අමතක කරවන වෙනත් රංග අභ්‍යාසයක් පිළිබඳ වෙසෙස් ප්‍රකාශයක් නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ජනගත කරන ලද්දේ පසුගිය සතියේදීය.

වෙනදා දෑතේ විලංගුලා අවිආයුධ පෙන්වන්න යන එකා රෑ දෙගොඩහරි යාමයේ පොලිස් ආරක්ෂාව මැද්දේ පතබාවා තිබුනද එතැනදී පවා ඩිප්ලෝමටික ලෙසින් තම පොලිස් රැහැන ම රකින තල්දූව මෙවරනම් තම සහකාර පොලිස් අධිකාරිවරයා මතු නොව හිටපු කඩවසම් මන්ත්‍රී හාමුදුරුවන්ද අනාවරණය කොට ඇත්තේය. එවැනි විනිවිදබවින් යුත් පිළිවෙතකින් බැඳී සිටීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හට හැකිනම් එයද නීතියේ ආධිපත්‍යය සුරැකීම දෙසට තබන බර අඩියකි.

එනයින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරන නම උද්දික ප්‍රේමරත්නගේය. ඔහු 44 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙකි. යම් රංග ප්‍රතිභාවක් හා ගායන හැකියාවක් සමඟ රඟ මඬලට සැපත් ඔහු මේ කොදෙව්වේ වසන වෙන අන් කලාකාර ඇත්තන් හටද  ක්‍ෂණිකව වැළඳෙන ව්‍යාධිය බෝ කර ගත්තෝය. එනම් දේශපාලන කරළියට පිවිසීමයි. එහෙත් ඔහුට ඊට සුදුසු (ලාංකේය ක්‍රමයට අනුව)  පරම්පරාගත පවුල්  උරුමයක් හෝ  වෙනත් වෙසෙස්  බැඳීමක් තිබූ බවට සාක්‍ෂි නම් හමුව නැත. 

එය අපගේ ජන්දදායකයාගේ මනස නිවැරදිව කියැවූ අදිසි සම්ප්‍රාප්තියකි. ඊට මූලිකව අත දුන්නෝ ජයන්ත චන්ද්‍රසිරි හා විමල් විරවංශයෝය. ජයන්ත ඔහුගේ ''මහරජ ගැමුණු'' සලරුවේ කතානායක භුමිකාව මේ කඩවසම් හාදයා වෙත පිරිනැමූ අතර විමල් දේශප්‍රේමය නම් වූ නොවරදින කසාය පත අට එකට සින්දා පෙරා ඔහුට පෙව්වේය. රැල්ලට ගිය මව්පොළොවේ උරුමය සෙවූ යක්ඛ පුතුන් පුරන් කුඹුරු අස්වද්දන අල්ලපනල්ලේ රජරට වැස්සෝ උද්ධික, ගැමුණු යැයි මවාගත් චිත්ත රූප ඔස්සේ මදි නොකියන්නට මනාප පොදියක් ඔහු පාමුල තැබුවේය. නුවර කලාවියේ රජරට උරුමයෙන් හිත් පොජ්ජ පුරවාගත් ජන්දදායක සනුහරය ඔහුට පිදු එකී ප්‍රණාමයේ  දිග පළල මනාප 133,550  ක් විය.

අවසන තරුණ අරගලයෙන් ඉනික්බිති පාර්ලිමේන්තුවට සපැමිණි ඔහු රට දියුණු කිරීමේ ඔහුගේ බහුවිධ දර්ශනය හෙළි කරන ලද්දේ රජරට බඩ ඉඟුරු කරලේ ගති සොබා වර්ණිත දිගු හා ආවේගාත්මක දෙසුමකිනි. සියල්ල අවසානයේ අප මහජන නියෝජිත නළුවා තම දේශපාලන ගුරුවරයා වූ විමල්ගේ ජාතික නිදහස් පෙරමුණෙන් නිදහස්ව තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බව කියා සිටියේ 2023 සැප්තැම්බර් මස 07 වැනි දිනයේදීය. මන්දාලෝකය පැතිරුණු එම උත්තරීතර සභාවේදී ඔහු මුවින් බිනූ දෙබස් මෙපරිදිය (අවධාරණය අපගේය).

''මේක  මාරයාගේ ලෝකයක්.  මේ  ලෝකයේ සතුට නැහැ.  එම නැති සතුට මෙරට අහිංසක මිනිසුන්ට ලබාදීම තමයි මගේ  අභිලාෂය. ඒක මම  අනිවාර්යයෙන්ම මේ රටේ ස්ථාපිත කරනවා'' (තවමත් සමහරු නම් සිතන්නේ ඔහුගේ හිටපු නායක විමල්, මාරයාටත් ටියුෂන් දියහැකි සර්වභද්‍ර කෙනෙක් කියාය)

එලෙස පැවැසූ මේ සම්මානිත නළුවා ඝාතන තැතක් හමුවේ දිවි බේරාගන්නේ අනුනැමයෙන් හා තවත් කෙස් ගසකිනි. ඔහු ගමන් කල මෝටර් රථය සිදුරු කොට පසාරු කොට උණ්ඩ කිහිපයක් ගමන් කොට ඇත්තේ නළුවාට මරබිය කැඳවමිනි. එළාර හා ඔහුගේ හැත්ත බුරුත්ත වුව කඩු ගෑමට සමත් නොබිය ආත්ම ශක්තියෙන්  මහරජ ගැමුණු සලරුවේ වක්කලන් ගැසූ මේ ගොබිලා එදින නම් ජමරෙට බියවී ඇති සේය. රඟපෑම ඒ තරමටම තාත්විකය. තිර පිටපත, රඟපෑම, දෙබස් සහ නිෂ්පානය මෙන්ම කැමරාකරණය පවා තමන්ගේම එකක්  වූ කල ඕනෑම නළුවෙක්  මෙලෙස මාලන් බ්රැන්ඩෝටත් වඩා එහාට යෑම වටහා ගැනීම අපහසු නැත.

සැබවින්ම උද්දික හපනෙකි. ඔහු වරෙක ජනප්‍රියතම නළු සම්මානය දිනන අතරේ තවත් වරෙක සුමති සම්මානය ලද්දේ හොඳම රංගනය උදෙසාය. එවන් රජරට හපන් පුතා ගැන විකිපේඩියාව ලියා ඇත්තේ මෙලෙසය. ඒ ඔහුගේ ප්‍රොෆයිලය තුළය.

.''.. On 17 September 2023, Premarathna narrowly escaped an assassination attempt at....''ඒ අනුව  ඝාතන තැතකින් ඔහු බේරී ඇත්තේ යන්තමිනි. හෙල්පින් හම්බන්තොට, මහබැංකු බොන්ඩ් ස්කෑමය මෙන්ම විල්මාර් සීනි මංකොල්ලය ආදී අනේකවිධ මහදවල් සොරකම් ලංකාවේ සිදුව ඇති බව සැබෑය. එහෙත් නළුවෙක් සංවර්ධිත රටකට සිය පවුල හා පනින්නට මෙවැනි දුර්වල පිටපත් රචනයකට අත ගැසීම සිතා ගත හැකිද? 

අපේ පාර්ලිමේන්තුව නළුනිළියන්  අඩු නැතිව සිටි හා සිටින තැනකි. මෙරටේ ව්‍යවස්ථාදායකය තම පිරිපුන් දැනුමින් ඔප කල එන්.එම්. පෙරේරාගේ සිට ගාමිණී ෆොන්සේකා වැන්නන් ප්‍රමුඛව මාලනී ෆොන්සේකා ,ගීතා සමන්මලී කුමාරතුංග මෙන්ම රන්ජන් රාමනායක ඇතුළුව එලෙස නම් කල හා තේරී පත්වූ ඇත්තෝ එමටය. එහෙත් ඒ එකෙකුන් හෝ මෙවන් අධි තාත්වික රංගනයක් හමුවේ  තම රංගන  කෞශල්‍යය දිය කොට නොහැරියේය (රන්ජන් පාර්ලිමන්ට් ජෝක් කලේද සභා ගර්භයේ නොවේ).

ආත්ම අභිමානයට ඔබ්බෙන් කැනඩාව සුරපුරක් සේ දකින මේ නළුවා කලාව පමණක් තෝරා ගත්තේ නම් ඔහු අද ජනහද පොබයන නිර්මාණකරුවෙක් වනවා නිරනුමානය.

මහරජ ගැමුණු සිනමා සිත්තමේ ඔහු මෙලෙස කියන්නේය

''මා යුධ කලේ රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ..ශක්තිවන්තයා ජයග්‍රහකයා කීමටත් නොවේ.  මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ශා කර දීමටයි..එම ධර්මය රකින රට ආරක්ෂා කොට දීමටයි''.

සිනමා සිත්තමේ නළුවා එහිදී තමා කියූ දෙබස් මත්තේ තම දිවිය පවත්වා ගත යුතු යැයි අපි නොකියන්නෙමු. එහෙත් උද්දික සපුරා වෙනස් කෙනෙකි. ඔහු වරක් පාර්ලිමේන්තුව දෙවනත් කරන ලද්දේ තමන් වෙත කිසිදු වගකීමක් නොලැබුණු බවත් ප්‍රතිපත්තිගරුක ලෙස රට හදන්නට රට ඔහුට භාර දෙන ලෙසත්ය. එනයින් අඩු තරමේ පෙරකී තිර පිටපතේ දෙබස් අනුව හෝ රටට ආලය වැඩුවේ නම් ඔහු මෙලෙස ව්‍යාජ ෂූටින් අභ්‍යාසයක් වෙත ප්‍රවිෂ්ඨ නොවනවා ඇත.

එහෙත් උද්දික තවමත් ප්‍රමාද නැත. ඔහු තවමත් වසන්නේ ලංකාවේ බැවින් මේ මරාලයෙන් ගොඩ ඒමට ඔහුට නිරූපනය කළහැකි තවත් කදිම රංගයක් ඇත්තේය.

ඒ කුමක්ද යත්  වහා තම සහය වත්මන් ජනාධිපතිවරයාට ලබාදෙන බවට මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීමයි. මැතිවරණය පෙනී නොපෙනී යන මෙසමයේ එලෙස සහය දක්වන්නෝ මේ ආත්ම භවයේදීම උතුම් සැප ලබන්නේය. එවැන්නක් සිදුවුවහොත් මෙරටේ පෙර භාවිතයට අනුව නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හට සිදුවන්නේ උද්දිකගේ රංගනය අධි තාත්වික ස්වරූපයෙන් උඩුයටිකුරු කිරීමටය. එවිට තල්දූව දුෂ්ඨයා වී උද්දික සදාකාලික වීරයා වීමටද බැරි නැත.

කෙසේවෙතත් අපගේ නම් අදහස ඇල්වතුරත් නිවාබොන වර්ගයේ ව්‍යාජ දේශප්‍රේමින් කැනඩාවට නොව බෝට්ටුවක නංවා ඔස්ට්‍රේලියාව පෙණෙන නොපෙණෙන මානයේ දිසි ක්‍රිස්මස් දූපතේ නැවැත්විය හැකිනම් එය රටට සෙතක් බවයි. සැබෑ සුදුසුකම් ඇති වෘත්තිමය දක්‍ෂතාවලින් පිරිපුන් තරුණ තරුණියන් තම රටවලට ඇතුල් කරගැනීමේදී දියුණු යැයි සැළකෙන බටහිර රටවල තානාපති කාර්යාල දහසක් ප්‍රශ්ණ නගන්නේය. එහෙත් රටෙහි මහජන ධනය උලාකන හා ජනසතුරු පිළිවෙතින් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කරන දේශපාලන අධිකාරියේ ගොබිලන් ඉල්ලන ඉල්ලන වාරයක් පාසා වීසා නිකුත් කිරීමට සැදී පැහැදී සිටීම වටහා ගැනීමට එතරම් පහසු නැති අභ්‍යාසයක් බව ද, එකී තීරණ ගන්නා අපගේ සුමිතුරු තානාපති  කාර්යාල සගයන් වෙත කරුණාවෙන් දන්වා සිටිය යුතුය.

ඔහුගේ රංගයේ කූට ප්‍රාප්තිය (Climax) සිදුවූයේ වසර 2024 - 02 - 26 දිනයි. එදින  ඔහු කතානායකවරයා වෙත කෙටි ලිපියක් ලියමින් තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේය. එහි අන්තර්ගතය මඟින් දක්වන ලද්දේ රටෙහි ධනාත්මක වෙනසක් සිදු කිරීමේ කාර්යය සඳහා නායකත්වය දීමට ඔහු සැදී පැහැදී සිටියත් මෙතෙක් කිසිවෙක් ඔහුගෙන් වැඩක් ගත්තේ නැති බවයි.

සරලවම මෙම ඉකිබිඳුම අප වටහා ගත යුත්තේ අඩුතරමින් රාජ්‍ය ඇමති ධූරයක් හෝ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවක හෝ සභාපති ධූරයක් තමන් වෙත නොලැබිමේ සංතාපය ඔහු දවා හළු කරන තරමේ එකක් බවයි. කෙසේවෙතත් ඔහු තවමත් ප්‍රමාද නම් නැත. ඔහු කල යුත්තේ ඉදිරියේදී ජයගනු ඇතැයි අනුමානිත දේශපාලන  පක්‍ෂය තෝරා ගැනීම පමණි.

අප කතානායක උද්දික නම් මැදිවියේ පසුවන මේ දක්‍ෂ නළුවා තම ඉන්ස්ට්‍රගමයේ වරෙක මෙලෙස සටහන් කොට ඇත. ඒ ලියන්ගහවෙල පඤ්ඤාසේකර  කාව්‍යක්කාර සමිඳුගේ පැදියක්ය.

ලියා කොලයක

ඇලවූ පමණින්

සොයා ගත හැකි

නම්, නිවන්

ඇසතු රුක

නොපෙනෙනා තරමට

අලවලා කොල

සිදුහතුන්

සැබවින්ම මේ පැදිය අපිට වඩා කියැවිය යුත්තේ උද්දිකය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපට වැඩි වැඩියෙන් දෙන්නේ මහජන නියෝජිතයන් නොව නළුවන්ය. මහජන නියෝජිතයන් බහුතරය නළුවන් සේ හැසිරෙන රටක නළුවෙක් මහජන නියෝජිතයෙක් වීම දෙවරක්ම රඟපෑමක් බවට පත්ව ඇත්තේය. ගම්පහ පමණක් නොවේ , නුවර කලාවිය අනුරපුර වැස්සෝ ද  කලාවට බර ජන්දදායකයෝ ය. එබැවින් ඔවුහූ උද්දික රටට තෝරා දුන්නෝය !! එපමණකි.

MANJULA GAJANAYAKE

| මංජුල ගජනායක

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website