තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පෙරේදා (20) පැවති අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ (1st WLI Asia Oceania Conference 2024) සමාප්ති උත්සවයට එක් වෙමිනි. තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පළමුවරට සංවිධානය කළ මෙම සමුළුව ජුනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල, දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්විණි.
‘පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථාන’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සමුළුවට ශ්‍රී ලංකාව, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලය, ජපානය, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, තායිවානය, එක්සත් රාජධානිය යන රටවල් 15ක තෙත්බිම් උද්‍යාන 70කට වැඩි සංඛ්‍යාවක අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් 100කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
ලොව පළමු නාගරික තෙත්බිම් අග නගරය වන කොළඹ නගරය ආශ්‍රිත තෙත්බිම් පිළිබඳ දින 3ක් පුරා නිරීක්ෂණය කිරීමට සහ අධ්‍යයනය කිරීමට මෙම විදෙස් නියෝජිතයන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. මෙහිදී රැම්සා සම්මුතියේ නැඟෙනහිර ආසියානු කලාපීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සූ සෙන්ග් ඕහ් (Suh Seung Oh) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී සහ පරිසර සංරක්ෂණයේ දී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටීමෙන් ඵලක් නැහැ. පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතුයි.
අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා. තෙත්බිම්, අලි ඇතුන් සහ අනෙකුත් සතුන්, අද මිහිතලයෙන් අතුරුදහන් වන විශේෂ බවට පත්වෙමින් තිබෙනවා. සංවර්ධනය සහ ජනගහනයේ ව්‍යාප්තිය සමඟ අද රට පුරා තෙත්බිම් අහිමි වෙමින් පවතිනවා. එබැවින් අප මේවා සංරක්ෂණය කර ගැනීමට කඩිනම් අවධානය යොමු කළ යුතුයි. එහිදී සියලු දෙනා එකඟ වන පොදු අරමුණකින් කටයුතු කළ යුතුයි. වසර 500ක පමණ අතීතය දෙස හැරී බැලුවහොත් අද අප සිටින මෙම ස්ථානය සහ අවට ප්‍රදේශය තෙත් බිම්වලින් වැසී තිබුණා. නමුත් ක්‍රමක්‍රමයෙන් එය ගොඩකරන ආකාරය අප දුටුවා. අප මෙම තෙත් බිම් ආරක්ෂා කරගත යුතුයි. වත්මන් ආණ්ඩුව ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරනවා. මේ දියසරු උද්‍යානය ඉන් එකක් බව සඳහන් කළ හැකියි.
අප මේ වනවිට දකුණු පළාතේ තෙත්බිම් අක්කර 1000කට වඩා වැඩි ප්‍රදේශයක් සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරියේදී අකුරල ප්‍රදේශයේ තවත් තෙත්බිම් කොටසක් සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළ යටතේ මෙරට තෙත්බිම් පද්ධතිය ආරක්ෂා වනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ වගේම මේ සමඟ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් රට තුළ නිර්මාණය වෙනවා. හෝර්ටන් තැන්නට යාබදව , තවත් සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා අප තවන් අක්කර 1000ක් වෙන් කරනු ලබනවා. එනිසා තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. පරිසර පද්ධතිය සහ කඩොලාන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප නිවර්තන කලාපිය මුලපිරීම් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ දී මෙය තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා.
අද ඇමේසන් පරිසර පද්ධතිය අතුරුදහන් වෙමින් පවතිනවා. අප මේවා ආරක්ෂා කරගත යුතුයි. තෙත් බිම්, වනාන්තර, තණබිම්, මේ සෑම දෙයක්ම සංරක්ෂණය කළ යුතුයි. ව්‍යාපාර සඳහා නොව, පරිසර පද්ධතියේ කොටසක් ලෙස මේවායින් කොපමණ ප්‍රමාණයකට වාණිජමය වටිනාකමක් තිබිය හැකිද යන්න පිළිබඳ අප සොයා බැලිය යුතුයි. නමුත් මේ සඳහා අරමුදල් සපයා ගැනීමේ දී ගැටලු මතුවී තිබෙනවා. එම මුදල් මේ මොහොත වන විට බොහෝ විට යුක්‍රේනය හෝ ගාසා තීරය වෙත ඇදී යමින් පවතිනවා. නමුත් එය එතැනින් අවසන් වන්නේ නැහැ. ඒ නිසා අපට අප ගැන බලා ගැනීමට සිදු වෙනවා. එහිදී පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඉන්දියන් සාගරයට කාබන් අවශෝෂක ප්‍රදේශයක් ලෙස ඉටු කළ හැකි කාර්ය භාරය පිළිබඳවත් අප සොයා බලනවා. සාමාන්‍ය සංවර්ධනය සඳහා නොව පරිසරය සංරක්ෂණය වෙනුවෙන් මෙම ප්‍රදේශ වාණිජකරණය කරන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතුයි. හරිත මූල්‍යකරණය සහ හරිත ආර්ථියක් සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම පිළිබඳ අප සොයා බැලිය යුතුයි.
අද නිවර්තන කලාපය දැඩි පාරිසරික තර්ජනයකට ලක්ව තිබෙනවා. ඊට එරෙහි පියවර ගැනීමේ දි බාහිරින් පැමිණෙන අරමුදල් දෙස බලා සිටීමෙන් ඵලක් නැහැ. එනිසා, පරිසරය සහ නිවර්තන කලාපය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වාණිජමය වශයෙන් මුදල් ඉපැයිය හැකි ව්‍යාපෘති කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකා රජය මේ වනවිට ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අදාළ නීති සම්පාදනය කරමින් සිටිනවා. මෙවැනි විශ්වවිද්‍යාලයක් නිර්මාණය වන්නේ ආසියාවේ පළමු වරටයි. ඒ වගේම මෙය ලෝකයේ අනෙකුත් දේශගුණික විපර්යාස මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වනු ඇතියි. දේශගුණික විපර්යාස අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම විශ්වවිද්‍යාලය කටයුතු කරනු ඇති අතර ඕනෑම අයෙකුට කෙටි කාලීන පුහුණු සඳහා හෝ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා මෙමඟින් අවස්ථාව හිමිවෙනවා. ඉදිරි වසරවලදී මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින් අද මෙම සමුළුව සංවිධානය කළ සියලුදෙනාට ස්තූති කිරීමටත්, සුබ පැතීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
රැම්සා සම්මුතියේ නැඟෙනහිර ආසියානු කලාපීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සූ සෙන්ග් ඕහ් (Suh Seung Oh) මහතා –
මෙම රැස්වීමට සත්කාරකත්වය ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, ශ්‍රී ලංකා රජයටත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කිරීමට කැමතියි. පසුගිය දින හතරක කාලය තුළ අප තෙත්බිම් කලාපවලට අදාළ ගැටලු රාශියක් පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් සාකච්ඡා පැවැත්වූවා. මෙම සමුළුව තෙත්බිම් මධ්‍යස්ථාන අතර සහයෝගීතාවය වර්ධනය කිරීමට ඉවහල් වනවා පමණක් නොව ආසියාව සහ ඕෂනියා මහද්වීප අතර සබඳතා ද ශක්තිමත් කිරීමට හේතු වී තිබෙනවා. ප්‍රථම වරට පැවති මෙම ආසියා – ඕෂනියා සමුළුවෙන් මතුවූ සහයෝගීතාව තුළින් අප ජනතාව අතර සමීප සබඳතාවක් පවත්වා ගෙන යමින් තෙත්බිම් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳ තීරණාත්මක පණිවිඩක් ලබා දී තිබෙනවා. ඒ වගේම අප සියලුදෙනා එක්ව, ජනතාව සමඟ බෙදාගත හැකි වටිනාකම් සමූහයක් නිර්මාණය කර තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය ඇමැතිවරුන් වන තේනුක විදානගමගේ, ජානක වක්කුඹුර, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, පරිසරය, දේශගුණ විපර්යාස සහ හරිත මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක ආනන්ද මල්ලවතන්ත්‍රි, දේශගුණික විපර්යාස පිළිබද කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, බී.කේ.පී. චන්ද්‍රකීර්ති යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද, වනාන්තර ආශ්‍රිත කුරුල්ලන් සහ තෙත්බිම් සඳහා වන භාරයේ (Wildfowl & Wetlands Trust) ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකාර ක්‍රිස් රොස්ට්‍රොන් (Chris Rostron) මහතා ඇතුළු අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන්, පරිසරවේදීන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.