මෙම පරිසර සම්මාන උලෙළ පසුගියදා (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පුළුල් වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
අද වන විට දේශගුණික විපර්යාස ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර එය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා පැවැසීය. එබැවින් අද වන විට සෑම ක්ෂේත්රයකටම පරිසරයත් දේශගුණික විපර්යාසත් බලපෑම් එල්ල කර ඇති බැවින් සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා (28) පැවැති 2024 ජනාධිපති පරිසර සම්මාන උලෙළ අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණදී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බවයි. රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යවශ්‍ය බවත් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවූවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බව ජනාධිපතිවරයා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් වන බවයි.
ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ජනාධිපති පරිසර සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124දෙනකු වෙනුවෙන් කුසලතා, රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හා සම්මාන ප්රදානය කිරීම මෙවර සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මාන ප්රදානය කිරීමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
“මධ්‍යම පරිසර අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උලෙළ මෙම වසරේදී ද උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීම මම ඉතා අගය කරනවා. පසුගිය වසරේදී පරිසරය වෙනුවෙන් විශාල සේවාවක් කළ අය අද මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.
මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කරනු ලැබුවේ 1981 වසරේදී. එය සකස් කළේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ විජයදාස මහතා. ඒ කාලයේ සිදුවූයේ පරිසරය පිළිබඳ අවධානය ඇති වීම පමණයි. ඊට පෙර දශකයේ පරිසරය පිළිබඳ අවධානයක් යොමුව තිබුණේ නැහැ. නමුත් රණසිංහ ප්‍රේමදාස මහතා මෙම සංකල්පය ඉදිරියට ගෙන ආ අවස්ථාවේ මෙම අධිකාරිය ඇති කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වුණා. එදා අවධානය යොමු වුණේ පරිසරයට හානි වන කරුණු පිළිබඳ පමණයි. ඒ අනුව එම වැඩකටයුතු ඒ වෙනුවෙන් සීමා වුණා.
අද වන විට පරිසරය කියන විෂයය ඊට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා. පරිසරයෙන් ආරම්භ වී දේශගුණික විපර්යාස දක්වා එය පුළුල් වී තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම එය ආර්ථික ප්‍රශ්නයක් බවට ද පත්ව තිබෙනවා. ඒ නිසා අද සෑම ක්ෂේත්රයකටම පරිසරයත් දේශගුණික විපර්යාසත් බලපෑම් එල්ල කරනවා.
1981 සකස් කළ නීතිය පිළිබඳ අපට අලුතින් සිතීමට සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන ලෙස මම ලේකම්තුමාට දැනුම් දුන්නා. ලෝකයේ සෑම පරිසර අධිකාරියක්ම තමන්ගේ නීති සංශෝධන සිදු කර තිබෙනවා. ඒ නිසා ලංකාව ද එය සිදු කළ යුතුයි. එහිදී තවත් ඉදිරියට යමින් දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක් ඇති කිරීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම දේශගුණික විපර්යාස මධ්‍යස්ථානය ඇති කර ඒ සඳහා උපදේශකවරයකු පත් කිරීමට අප කටයුතු කළා.
ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී අප ජාත්‍යන්තරයේ ද යම් වැඩ කොටසක් භාරගෙන තිබෙනවා. ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාළ නීති සකස් කර තිබෙනවා. අප මෙම කටයුතුවලට පමණක් සීමා වන්නේ නැහැ. අප තවත් ඉදිරියට පැමිණ තිබෙනවා. ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කරා ළඟා වීම රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට ඇතුළත් කර තිබෙනවා.
ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ සමඟ කෘෂි නවීකරණ වැඩසටහන ද අප ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ දැන් සිටම ආරම්භ කර 2048 වන විට ඉලක්කය සපුරාගත යුතුයි. සාමාන්‍ය ලෝකය පිළිගෙන තිබෙන්නේ 2050 වන විට මෙම ඉලක්ක සපුරාගත යුතු බවයි. නමුත් 2050 වසරට පෙර අපට මෙම ඉලක්කයට ගමන් කළ හැකි බව දැනුම් දී තිබෙනවා.
ඒ වගේම මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමේදී හරිත මූල්‍යකරණය සහ හරිත බැඳුම්කර අවශ්‍යයි. එසේනම් මෙය ආර්ථික වැඩපිළිවෙළට ඇතුළත් වෙනවා. අප මෙම ඉලක්ක සපුරාගත යුතුයි. අද අප මුළු ලෝකය දෙසම අවධානය යොමු කරමින් මෙම වැඩකටයුතු සිදු කරගෙන යනවා.
දේශගුණික විපර්යාසවලට මුහුණදීම රටකට තනිව සිදු කළ නොහැකියි. එහිදී සියලු රටවල් එක්ව කටයුතු කළ යුතුයි. නමුත් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කළත් මේ වන විට බටහිර ලෝකයේ ඇතැම් රටවල් එයින් ඈත් වෙලා. එදා එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මහතා ග්ලාස්ගෝ ප්‍රකාශය ඇති කර ගත්තා. නමුත් අද බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉන් ඉවත් වීමට උත්සාහ කිරීම ඊට හොඳම නිදසුන ලෙස පෙන්වාදිය හැකියි. කෙසේ නමුත් අමෙරිකාව මේ සම්බන්ධව ගනු ලබන තීරණය අපට දැන ගන්න ලැබෙන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් පසුවයි.
පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,
“මේ රටේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආයතනය සහ පුරවැසියන් ලබාදෙන දායකත්වය අගය කිරීමට වාර්ෂිකව මෙම සම්මාන උලෙළ සංවිධානය කරනවා. කර්මාන්තවලින් පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමට ඔබ දක්වන උනන්දුවත් උත්සාහයත් මෙලෙස ඇගැයීමට ලක් කරන්නේ තවත් පිරිසකට ඒ වෙනුවෙන් උත්තේජනයක් ලබා දෙමින් බව කිව යුතුයි.
හෙට උපදින දරුවා වෙනුවෙන් යහපත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කැපවීමෙන් කටයුතු කරනවා. වසර 2032 වන විට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ගනිමින් පසුගිය පරිසර දිනයට සමගාමීව පැළ දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන අප දියත් කරනු ලැබුවා.
අභියෝග රැසක් හමුවේ රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩාවැටී තිබූ කර්මාන්ත යළි නඟාසිටුවීමට විශාල වෙහෙසක් දැරූ බව අමුතුවෙන් කිවයුතු නැහැ. අපේ රට නැවතත් ලෝකයේ පිළිගත් රටක් බවට පත්වුණේ ඒ නිසයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවන මෙම දියුණුවත් සමඟ පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම අපේ වගකීමක් වෙනවා.”
පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ තානාපතිවරුන්, පරිසර ක්ෂේත්‍රයේ විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීහු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප – චින්තක කුමාරසිංහ