බදාදා, 03 ජූලි 2024 14:42

බෝම්බ බියකින් මහනුවර අධිකරණයේ වැඩ නවතී Featured

නඩු විභාග හා තීන්දු ලබාදීම කල් තබයි

ඇමැතුම දුන් පුද්ගලයා වටවලදී අත්අඩංගුවට
මගේ දුරකතනය සොරාගෙන මේ වැඩේ කරලා – ඔහු පොලීසියට කියයි


මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඊයේ (02 දා) උදෑසන බෝම්බ බියක් පැතිර යෑම නිසා අධිකරණයේ කටයුතු මුළුමනින්ම නතර කිරීමට සිදුවී ඇත.

අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් තිබෙන බවට 119 හදිසි ඇමතුම් ඔස්සේ පොලිසියට ව්‍යාජ තොරතුරක් ලබාදුන් පුද්ගලයා වටවල ප්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊයේ විභාග කිරීමට තිබූ සියලුම නඩු මෙන්ම තීන්දු ලබාදීමට තිබූ නඩු සියල්ල ද කල් තැබීමට අධිකරණය කටයුතු කර තිබිණි.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ පළාත්බද මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ 10 ක් ක්‍රියාත්මක වන අතර, එම සියලු අධිකරණවල කටයුතු කල් තැබීමට පියවර ගෙන ඇත.

ඊයේ පෙරවරු 9.12ට මහනුවර පොලිසිය වෙත ලැබුණු 119 හදිසි ඇමතුමකින් කියැවුණේ අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවයි. එහෙත් එම බෝම්බය ඇති ස්ථානය නිවැරැදිව ප්‍රකාශ කිරීමට තොරතුර ලබාදුන් පුද්ගලයා කටයුතු කර නැත.

එම ඇමතුම ලබාදී විනාඩි 4කට පසු එනම් ඊයේ පෙරවරු 9.16ට පළමු ඇමතුම ලබාදුන් දුරකථන අංකයෙන්ම මහනුවර අධිකරණයේ නීතිඥවරියකගේ ජංගම දුරකථනයට කතා කළ පුද්ගලයකු පවසා ඇත්තේ එහි බෝම්බයක් තිබෙන බවයි.

එහෙත් එම නීතිඥවරිය අදාළ ඇමතුම ගැන සැලකිලිමත් වී නැත.

පොලිස් 119 ඇමැතුම් ඒකකයට ලැබුණු තොරතුර අනුව ක්‍රියාත්මක වූ මහනුවර පොලිසිය බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා අධිකරණය තුළ දැඩි පරීක්ෂාවක් කළ ද කිසිදු බෝම්බයක් හමුවී නැත.

අධිකරණ කටයුතු සඳහා පැමිණ සිටි මහෙස්ත්‍රාත්වරුන්, නීතිඥයන් මෙන්ම නඩු විභාග සඳහා පෙනී සිටීමට පැමිණි අතිවිශාල පිරිසක් අධිකරණ භූමියෙන් පිටතට පැමිණ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටියහ.

පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ පොලිසිය බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම අධිකරණ ආරක්ෂක නිලධාරීන්, අධිකරණ භූමිය දැඩි පරීක්ෂාවකට ලක්කළ අතර කිසිදු සැක කටයුතු යමක් සොයාගැනීමට හැකිවී නැත.

පොලිසිය පවසන්නේ කිසියම් කඩාකප්පල්කාරී අදහසකින් මෙම සැකකරු හදිසි ඇමතුම් ඒකකය වෙත මෙම තොරතුර ලබා දෙන්නට ඇති බවයි. සැකකරු පවසා ඇත්තේ තම ජංගම දුරකථනය දින කීපයකට උඩදී අස්ථානගත වූ බවයි. මෙම අධිකරණය තුළ ඊයේ විශේෂ නඩු තීන්දු කීපයක් ලබාදීමට නියමිතව තිබූ බව ද ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු එම නඩු තීන්දුවලට සම්බන්ධ පුද්ගලයකු දැයි සොයා බලාගෙන යන බව පොලිසිය පවසයි.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හදිසි ඇමතුම් ඒකකය වෙත ඇමතුම ලබාදුන් දුරකථනයේ හිමිකරු කරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව සොයා බලාගෙන යන බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු, සමන්තී වීරසේකර, ජනක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website