සදුදා, 08 ජූලි 2024 10:46

IMF එකඟතා දශමයකින් හෝ වෙනස් කළොත් ලෝකය අපේ රට අත්හරිනවා Featured

-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා දශමයකින් හෝ වෙනස් කළොත් ලෝකය අප රට අත්හරින බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රට පුරා මාර්ග කි.මී. 1,500ක් පිළිසකර කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ මාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේදීය.

පන්නිපිටිය හිරිපිටිය වික්‍රමගේ මාවත, පිටිපන උතුර මහින්ද මාවත සිට යක්‌දෙස්ස පාලම දක්වා මාර්ගය, මීගොඩ කජුගහදෙණිය නාගහවත්ත මාර්ගය සහ පෝර කනත්ත දෙවැනි පාර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කිරීමට නියමිතය. දිගු කලක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් මේ සියලු මාර්ග ඉතා අබලන් තත්ත්වයකට පත්ව ඇති අතර, ප්‍රදේශවාසීන් දිගින් දිගටම විවිධ පාර්ශ්ව වෙතින් කළ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ගමනාගමනයේදී විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දීමට ජනතාවට සිදුව තිබේ. මාර්ග කි.මී. 1,500ක් සංවර්ධනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති යටතේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘති ඉතා කෙටි කලක් ඇතුළත අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාතාංශයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ඇමැතිවරයා:

“දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය සහ මුදල් යන විෂයන් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මා විසින් උගන්වා තිබෙනවා. ඒත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයාට හෝ අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තුවට ඉගැන්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ගෙවුණු දශක හතරක පහක කාලය තුළ දේශපාලනඥයන් ගමින් ගම ගොස් විශාල බොරු ප්‍රමාණයක් ප්‍රකාශ කොට තිබෙනවා. බලය ගැනීමෙන් අනතුරුව සෑම රජයක්ම මුහුණ දුන් ප්‍රධානම ගැටලුව වූයේ රාජ්‍ය වියදමට ප්‍රමාණවත් බදු ආදායමක් උපයාගැනීමට නොහැකි වීමයි. ඒ හේතුව මත දේශීය හා විදේශීය විවිධ අංශවලින් ණය ගැනීමට සිදු වනවා. රට තුළ ඇති වන අය-වැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය පියවා ගැනීම සඳහා දිගින් දිගටම මේ ආකාරයෙන් ණය ගැනීමෙන් අත් වන ප්‍රතිවිපාක ජනතාවට නොතේරීම හේතුවෙන් වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ වර්ජන ඇතුළු ක්‍රියාමාර්ගවලට එළඹෙනවා. එවැනි තත්ත්වයන් උද්ගත වීමේදී පැවති රජය මුදල් මුද්‍රණය කර වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් දීම කර තිබෙනවා. අසීමිතව මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් උසුලාගත නොහැකි මට්ටමකට ජීවන වියදම ඉතා ඉහළ අගයකට පත් වුණා. ගත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත් වුණා. අවසානයේ මේ තත්ත්වය මත තවදුරටත් ශ්‍රී ලංකාවට ඉදිරියට යන්න බැරි බව ලෝකයේ රටවල් පෙන්නා දුන්නා. ණය තිරසරභාවයක් නැති තත්ත්වයකට පත් වුණා. ලෝකයේ එවැනි අර්බුදවලට විසඳුම් දුන් ජාත්‍යන්තර ආයතනවල සහාය ගැනීමට ශ්‍රී ලංකාවටත් සිදු වුණා. කැබිනට් අනුකාරක සභාවක නිර්දේශයන්ට අනුව ක්ලිෆර්ඩ් හාන්ස් සහ ලසාඩ් සමාගම් තෝරාගත්තේ ඒ අනුවයි.

රජය අත්සන් තබා ඇති ගිවිසුම එළඹෙන 9 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ එකඟතා දශමයකින් හෝ වෙනස් කළ හොත් හෝ සංශෝධනය කළ හොත් ලෝකය අපේ රට අත්හැර දමනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ අතරමඟ නවතා තිබූ සංවර්ධන කටයුතු නැවතත් ආරම්භ කිරීමට අවස්ථාව උදා වනවා.”

මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කේ.ඩබ්. කණ්ඩම්බි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවන් ප්‍රමුඛ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website