අඟහරුවාදා, 09 ජූලි 2024 10:12

ජනපතිවරණය කල්දාන්න ඉල්ලූ පෙත්සම විසි කරයි Featured

අදාළ නඩු ගාස්තුව මාසයක් ඇතුළත තැන්පත් කිරීමටත් නියම කරයි

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය තීරණය කරයි

අධිකරණය නොමඟ යැව්වාට පෙත්සම්කරු දැඩි දෝෂදර්ශනයට

ලක්ෂයක නඩු ගාස්තු ගෙවන්න පෙත්සම්කරුට නියෝග

දැනට පවතින නීතිය අනුව මෙරට ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ඊයේ (08) තීරණය කළේය.

මේ පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නැති බවට තීරණය කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මේ පෙත්සම ඉවත දමන ලදි. අධිකරණයේ කාලය නාස්ති කරමින් සහ අධිකරණය නොමඟ යවමින් මේ පෙත්සම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු දැඩි දෝෂ දර්ශනයට ලක් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට පෙත්සම්කරුට නියම කළේය.

අදාළ නඩු ගාස්තුව මාසයක කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණයට තැන්පත් කරන ලෙස ද නියම කෙරිණ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය සඳහන් කළේ තමන් මේ පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බවය.

එහිදී පාර්ශ්ව ගණනාවක් විසින් පෙත්සමට එරෙහිව අතරමැදි පාර්ශ්ව පෙත්සම් 12ක් ඉදිරිපත් කර තිබූ අතර, ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඒ වෙනුවෙන් පෙනී සිටියහ.

පෙත්සම්කරු තමන් විසින්ම කරුණු දක්වන බව සඳහන් කළේය.

එහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නීතිපතිවරයාගේ මූලික විරෝධතා පළමුව ඉදිරිපත් කිරීමට ද දෙවනුව අතරමැදි පාර්ශ්ව පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ද අවසර දී අනතුරුව පෙත්සම්කරුගේ කරුණු සලකා බැලීමට තීරණය කළේය.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය සඳහන් කළේ, මේ පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බවට ප්‍රකාශ කර ඇති බවය.

මේ පෙත්සම නීතියට පටහැණි බැවින් එය පවත්වාගෙන යා නොහැකි බව ඇය පෙන්වා දුන්නාය.

මේ පෙත්සම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලෙස ගොනු කර තිබුණ ද වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති මූලික අයිතිවාසිකම කුමක් ද යන්න සම්බන්ධයෙන් හෝ එවැනි මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා නැති බව ඇය පෙන්වා දුන්නාය.

එසේම මේ පෙත්සම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 යන ව්‍යවස්ථාවන්ට පටහැණිව ගොනු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විටත් අර්ථ නිරූපණයක් දී ඇති බව ඇය සඳහන් කළාය.

මේ පෙත්සම නීතියට පටහැණි සහ වැරදි කරුණු මත පදනම්ව ගොනු කර ඇති බැවින් එය පවත්වාගෙන යා නොහැකි බවට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එය විභාගයට නොගෙනම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කළ යුතු බව සඳහන් කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121, 123 යන වගන්ති නොසලකා හරිමින් මේ පෙත්සම ගොනු කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වගන්තිය අනුව පහළ අධිකරණයකින් දෙන ලද තීන්දුවක් සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදීමේ හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බව සඳහන් කළාය.

එසේ නැතිව එම වගන්තිය යටතේ වෙනත් බාහිර පුද්ගලයන්ට අධිකරණයෙන් අර්ථ නිරූපණයක් දිය නොහැකි බව ඇය පෙන්වා දුන්නාය.

එම කරුණු නොසලකා හරිමින් මේ පෙත්සම විභාගයට නොගෙනම මුල් අවස්ථාවේදී ම නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ අතරමැදි පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සමඟ තමන් එකඟ වන බවය.

මේ පෙත්සම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (6) ව්‍යවස්ථාවට පටහැණිව ඉදිරිපත් කර ඇති අතර, එය පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම මඟින් ඉදිරිපත් කරන කිසිම කරුණක් සලකා බැලීමෙන් තොරව පෙත්සම මුල් අවස්ථාවේදී ම නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා ගොනු කළ අතරමැදි පාර්ශ්ව පෙත්සම වෙනුවෙන් නීතිඥ ජී. ජී. අරූල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නීතිඥවරුන් වන නිරන්ජන් අරූල්ප්‍රගාසම් සහ ලක්ෂ්මන් ජෙයකුමාර් මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා ද පෙන්වා දුන්නේ මේ පෙත්සම නීතියට පටහැණිව ඉදිරිපත් කර ඇති බවය.

එබැවින් පෙත්සම ඉවත දමන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා සඳහන් කළේ මේ පෙත්සම්කරු විසින් 2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව රිට් පෙත්සමක් ගොනු කළ අතර, නොතීසි නිකුත් කිරීමකින් තොරවම එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇති බවය.

එසේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ නිසි පරිදි සම්මත වී නීතියක් බවට පත්ව ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එවැන්නක් අභියෝගය කිරීමට පෙත්සම්කරු නීතිය වැරදි ලෙස මෙහිදී භාවිත කර ඇති බව ද එවැනි පෙත්සම්වලට කිසිම අවස්ථාවක් ලබා දිය යුතු නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

දැනට පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ඉතා පැහැදිලි බව ඒ මහතා කීය. එසේ තිබියදී පෙත්සම්කරු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කර ඇති අතර, එය නීති විරෝධී බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා 2019 වසරේ දී ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කරු කිසිම සඳහනක් කර නැති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය. එබැවින් මේ පෙත්සම පවත්වාගෙන යා නොහැකි අතර, එය විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී මැදිහත් පාර්ශ්ව පෙත්සම්කාරියක වන අනිෂ්කා ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ද සඳහන් කළේ, මේ පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බවය.

මෙහිදී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, මේ පෙත්සම්කරු 2019 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කළ රිට් පෙත්සම 2019 නොවැම්බර් මස 20 වැනිදා අධිකරණය විසින් ඉවත දමා ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරු මේ පෙත්සමේ කිසිම සඳහනක් කර නැති අතර, මෙවැනි පෙත්සම් ඉදිරිපත් කරමින් අධිකරණය අවභාවිත කරන්නන්ට එරෙහිව විශාල නඩු ගාස්තුවක් අය කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව විශාල නඩු ගාස්තුවකට යටත් කර මේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ද සඳහන් කළේ මේ පෙත්සම්කරු නීතිය පිළිබඳ උපාධිධරයකු වන වන අතර, හුදෙක් සාමාන්‍ය පුරවැසියකු පමණක් නොවන බවය.

එසේ තිබියදී නීතිය වැරදි ලෙස භාවිත කිරීමට කරන උත්සාහයට ඉඩ දිය යුතු නැති අතර, පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ඉල්ලා සිටියේ මේ පෙත්සම නීතියට පටහැණි බැවින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීම කළ යුතු බවය.

මෙහිදී අතරමැදි පාර්ශ්ව පෙත්සම් ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ නීතිඥ නවීන් චානක ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා සඳහන් කළේ, මේ පෙත්සම්කරු අධිකරණය නොමඟ යැවීමට කටයුතු කරන බවය.

පෙත්සම්කරුගේ මේ පෙත්සම සලකා බැලීමෙන් තොරව නිෂ්ප්‍රභ කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය. අනතුරුව පෙත්සම්කාර සී.ඩී. ලේනව මහතා කරුණු ඉදිරිපත් කළේය.

තමන් 2019 වසරේ දී රිට් පෙත්සමක් ඉදිරිපත් කළේ ජනාධිපතිවරණය අත්හිටුවීමට ඉල්ලා නොවන බවද එම පෙත්සම විභාගයට අවසර ලබා නොදුන් නමුත් එය සලකා බැලූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අදාළ කරුණ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන්ට ස්තුතිය පළ කළ බව ද නීතිඥ වෘත්තිය සමඟ සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කළේය.

එම රිට් පෙත්සම සහ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම අතර කිසිම සම්බන්ධයක් නැති බව ඔහු සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වන පරිදි මැතිවරණයක් පවත්වන්නේ නම්, එමඟින් නීතියේ රැකවරණය අහිමි වන බව ඔහු සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා: Òතමන් පැමිණිලි කරන්නේ මෙමඟින් කුමන මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වූ බවට ද?“

පෙත්සම්කරු: “එහිදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බවට තමයි මම පැමිණිලි කරන්නේ.

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය ලබන ජූලි මස 17 වැනිදා මැතිවරණ කොමිසමට ලැබෙනවා. ජනාධිපති ධුරයේ වසර හයක් සම්පූර්ණ වීමට පෙර ජනාධිපතිවරණයක් තිබ්බොත් එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වෙනවා.

එවැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් මෙරට ජනතාවට සිදු වීම වැළැක්වීමට තමයි මෙම පෙත්සම ඉදිරිපත් කළේ“

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා: Òආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බවද තමන් ප්‍රකාශ කර සිටින්නේ?”

පෙත්සම්කරු: ඔව්, එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කරන ලෙස තමයි මම ඉල්ලා සිටින්නේ.“

විනිසුරු විජිත් මලල්ගොඩ මහතා:

“19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී එය අභියෝගයට ලක් නොකර එය සම්මත වීමෙන් පසු මෙවැනි පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කරන්නේ ඇයි ?“

පෙත්සම්කරු: මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සම්මත වූ නීතියක් සම්බන්ධයෙන් පවා අර්ථකථනයක් ලබාදීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුයි.

19 වන ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සම්බන්ධ අධිකරණයෙන් වූ වැරැද්දක්, එය නිවැරදි කිරීම දැන් අධිකරණයට කළ හැකියි.“

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා: “තමන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනගෙනද කතා කරන්නේ? අධිකරණය විසින් දුන් සංශෝධන අනුව කටයුතු කිරීමෙන් පසුව තමයි ඒ සම්මත කළේ. තමන් ඒ සම්බන්ධ තීන්දුව කියවා තිබෙනවද?Ó

පෙත්සම්කරු: “ස්වාමීනි. එම තීන්දුව මා ළඟ මේ අවස්ථාවේ නෑ. නමුත් මම එය අධ්‍යයනය කර තිබෙනවා“

විනිසුරු විජිත් මලල්ගොඩ මහතා:

“19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීරණය කර අවසන්.

එවැනි තීන්දුවක් නැවත විභාග කරන්න බෑ.“

පෙත්සම්කරු: “මම අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම තීරණය නැවත සලකා බලන ලෙසයි“

විනිසුරු විජිත් මලල්ගොඩ මහතා: “19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විටත් තීන්දුවක් දී තිබෙනවා. එහෙම තියෙද්දි මෙවැනි පෙත්සම් ඉදිරිපත් කර අධිකරණයේ කාලය නාස්ති කරමින් ඔබ කුමක්ද අපේක්‍ෂා කරන්නේ?“

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා: “19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය කොපමණ ද?“

පෙත්සම්කරු : “එම නිල කාලය වසර පහක් “

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා: “මේ වන විට පවතින නීතිය අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සඳහන් වනවා නම්, එය එලෙසම පවතිනවා. එසේ තිබියදී අධිකරණයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?“

පෙත්සම්කරු: “අදාළ කාලය සම්බන්ධයෙන් අධිකරණ මතයක් ලබා ගැනීම තමයි මගේ අපේක්ෂාව.“

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා:

“එවැනි මතයක් ලබා ගැනීමට නම් එම කරණු පනත් කෙටුම්පතක්ව පවතින අවස්ථාවේදී එය අභියෝගයට ලක් කළ යුතුයි.“

විනිසුරු එස්. තුරෙයිරාජා මහතා:

“ඔබ ඉදිරිපත් කළ රිට් පෙත්සම මට හොඳට මතකයි. එය සලකා බැලූ විනිසුරු මඬුල්ලේ සාමාජිකයෙක්ව මම සිටියා. ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව මා ළඟ තිබෙනවා. එහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඔබට ප්‍රශංසා කළා නෙමෙයි. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් තමයි කළේ. වඩා හොඳින් නීතිය අධ්‍යයනය කර පැමිණෙන ලෙස තමයි ඔබට උපදෙස් දුන්නේ“

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා: “තමුන් එම රිට් පෙත්සමේ තීන්දුව ලබාගත්තද ?“

පෙත්සම්කරු: “නැහැ. එය ලබා ගැනීමට මට නොහැකි වුණා.”

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා: “තමුන් 2019 දී ජනාධිපතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කරපු පෙත්සමේ තීන්දුව වත් ලබාගෙන නැද්ද? එසේ තිබියදී එම ඉල්ලීමම ඇතුළත් පෙත්සමක් යළිත් අරගෙන ඇවිත් තිබෙනවා. අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමාගේ තිබෙන නොසැලකිල්ල ඒකෙන්ම පේනවා.“

පෙත්සම්කරුගේ මේ පෙත්සම හේතුවෙන් විනිසුරුවරුන් පස්දෙනෙකු රැස්වී අධිකරණයේ වටිනා කාලය වැය කර ඇති අතර, නීතිඥවරුන් විශාල පිරිසක් ද රැස් වී සිටින බව එහිදී පෙන්වා දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත්සම්කරු අධිකරණය වැරදි ලෙස භාවිත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළේය.

එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාව අනුව මෙරට ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බවය.

ඒ බව වැටහෙන්නේදැයි පෙත්සම්කරුගෙන් විමසා සිටි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙවැනි පෙත්සම් ගොනු කිරීමට පෙර රටේ පවතින මූලික නීතිය දැන සිටිය යුතු බව ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සඳහන් කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදි නොවන බවට විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා යූ ටියුබ් නාළිකාවක් හරහා ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් විය යුතු බවට ඉදිරිපත් කළ මේ පෙත්සම නිවැරදි බවට ප්‍රකාශ කළ බවය.

එවැනි වැරදි තොරතුරක් නිවැරදි බවට ජනතා මතයක් සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එබැවින් එවැනි අනීතික ලෙස කරන කටයුතු සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව පෙ.ව. 12.10ට විනාඩි තිහක කාලයක් සඳහා අධිකරණ කටයුතු කල් තැබූ විනිසුරු මඬුල්ල නැවත අධිකරණ ශාලාවට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ, මේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන බවය. මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයකු වන චමින්ද්‍ර ඩී. ලේනව මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.

නෙල්කා මැදගෙදර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website