අඟහරුවාදා, 09 ජූලි 2024 10:28

පඩි වැඩි කළොත් 18% වැට් බද්ද 21%ට වැඩි වේවි Featured

-මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන

මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනවර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන සියයට 18ක වැට් බද්ද සියයට 20 – 21ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත්කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කරයි. මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (08) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වනවිට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම වසරේ දී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අය -වැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්ත ද, බදු වැඩිකිරීමට ද සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් සියයට 2ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදුකළ යුතු බව ද සඳහන් කළේය.

එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් සියයට 3කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම අවස්ථාවේ සිදුකළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද සියයට 18ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් සඳහන් කළේය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් ද නොමැති බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා එසේ සිදුකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බව ද කියා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද මෙහි දී අදහස් දැක්වු අතර මෙම වසරේ දී රාජ්‍ය සේවකයන්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකිරීම අසීරු කාර්යයක් වුවත් ලබන වසරේ අය වැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කළේය. වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව ද ඒ මහතා පැවැසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජයසිරි මුණසිංහ, මහින්ද අලුත්ගෙදර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website