බදාදා, 10 ජූලි 2024 10:21

දුම්රිය ගමන් රැසක් නවතී – වර්ජකයින්ට විනය ක්‍රියාමාර්ග Featured

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුම් කර තිබෙන බවය.

ඒ අනුව කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවනය වනු ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ මෙම වැඩ වර්ජනය අද (10) දිනයේද ක්‍රියාත්මක වේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙයි.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති දීශන පටබැඳිගේ මහතා සඳහන් කර ඇත.

මේ අතර ප්‍රවාහන සේවාව මෙරට අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බැවින් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සේවයට වාර්තා නොකරන සේවකයින්ට විනයානුකූල පියවර ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන සේවය පසුගිය සතියේදී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති බව ද රංජිත් රූබසිංහ මහතා විසින් පෙන්වා දෙන ලදී.

එසේ තිබී දී දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී බවද අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වාදි ඇත.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website