බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට පෙරේදා (11) යළිත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ තර්ජනාත්මක දුරකතන ඇමතුමින් කියවී ඇත්තේ කංජිපානි ඉම්රාන් කළ දැනුම්දීම ක්ලබ් වසන්තගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේද? යන්න බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. එයාකාරයෙන් ඉකුත් 10 දින එම මල් ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි. මධූෂ් පිළිබඳ විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉකුත් 8 දින ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඔහුගේ බිරිය මෙන්ම ජනප්‍රිය ගායිකා කේ. සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකු ටැටූ කලාගාරයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ටි56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබිණි. බරපතළ තුවාල ලද ක්ලබ් වසන්ත ඇතුළු පිරිස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වසන්ත සහ තවත් පුද්ගලයකු ඒ මොහොත වන විටත් මරුමුවට පත්ව තිබිණි.
හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව කැරොකේ වසන්තගේ දේහය ඥාතීන්ට භාර දෙනු ලැබූ අතර, බොරැල්ල පෞද්ගලික මල්ශාලාවට රැගෙන එනු ලැබීය. විදේශගතව සිටි කැරෝකේ වසන්තගේ පුතකු මෙරටට පැමිණීමෙන් අනතුරුව ඊයේ (12) දහවල් සිට කැරෝකේ වසන්තගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවේ ප්‍රභූවරුන්ගේ මෘත දේහ තැන්පත් කරන ස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරිණි. අවසන් කටයුතු අද (13) සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
DMN