සදුදා, 15 ජූලි 2024 09:53

රට බේරගන්න මට උදවු කළොත් එජාප සාමාජිකත්වය සජිත්ට යළි දෙනවා Featured

සජබ සමඟ එකතුවී දූෂණයට එරෙහිව සටන් කරන්න සූදානම් හැබැයි එක කොන්දේසියක් දානවා – පාසල්වලට බස් ගන්න සල්ලි දුන්නෙ කවුදැයි සජිත් හෙළි කළ යුතුයි

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (14) පැවැසීය. මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි සමගි ජන බලවේගය පවසන බවත් සජබ සමඟ එකතු වී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් බවත් කීය. නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල්වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය.

රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන Òඑක්ව ජයගමුÓ මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මහනුවර පොදු වෙළෙඳපොළ සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්වුණු මෙම ජනරැලිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-

ලෙව්කේ රත්වත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. ලොහාන්ට ඒ පින තිබුණේ නැහැ. අද ලොහාන් සහ මම එක වේදිකාවේ ඉන්නවා.ඒ රට බේරාගැනීමේ ශක්තිය අපට තිබෙන නිසයි. අපි මව් රටට ආදරය කරන නිසා අපේ පක්ෂයටත් අප ආදරය කරනවා.

එදා කුඩා අවදියේ අනුර බණ්ඩාරනායක සමඟ සෙල්ලම් කරන්න යන විට බණ්ඩාරනායක මහතා අප සමඟ කතා කරනවා. අප හැදුනේ එහෙම.

රට අමාරුවේ වැටුණු මොහොතක අප කරන්නේ කුමක්ද? කඳුකරයේ ද්‍රවිඩ අයට පුරවැසිභාවය දුන්න සාකච්ඡාවේ දී 1963දී බණ්ඩාරනායක මැතිනිය ඩඩ්ලි සේනානායක සමඟ ඉන්දියාවට ගිහින් ඒ ගිවිසුම අත්සන් කළා. ඔවුන් එහි දී රට ගැන සිතා තීරණ ගත්තා. 1971දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විපක්ෂ නායක ලෙස ඒ කැරැල්ල මැඬලීම සඳහා තම සහාය තිබෙන බව බණ්ඩාරනායක මැතිනියට කිව්වා. එක්සත් ජාතික පක්ෂය අප පුහුණු කර තිබෙන්නේ ඒ ආකාරයටයි. රට ගැන හිතා වැඩ කරන්න හැම විටම කටයුතු කරනවා. බලය ගන්න කිව්වොත් බලය ගන්නැයි ජේ.ආර්. අපට කියා තිබෙනවා. බලය දෙනකොට බලය ගන්නේ නැත්නම් ඒ මිනිහා යූඑන්පී කාරයෙක් නෙමෙයි. මුලින්ම රට ආරක්ෂා කළ යුතුයි. මම මේ රට භාරගත්තේ අමාරු කාලයක. ජේ.ආර්. සමඟ රණසිංහ ප්‍රේමදාස සමඟ වැඩ කළ නිසා මා විශ්වාසය ඇතිව රට භාර ගත්තා. පොහොට්ටුව මට සහයෝගය දුන්නා. මට කොච්චර හොඳ අදහස් තිබුණත් තනිව වැඩ කරන්න හැකියාවක් නැහැ. මූල්‍ය අරමුදල සමඟ කතා කරලා ගෝඨාභය රාජපක්ෂ ජනපතිට කීප වතාවක් එදා උපදෙස් දුන්නා. පොහොට්ටුවේ වැඩි දෙනෙක් මට සහාය දුන්නා. එහිදී පොහොට්ටුව කැඩිලා කොටසක් ගියා. රජ්ජුරුවෝ සමඟ බහුතරය හිටියා. සට්ටම්බිරාළ සමඟ සුළුතරය ගියා. දැන් රජ්ජුරුවෝ නරකලු. සට්ටම්බිරාළ හොඳලු. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.

රාජපක්ෂලා ආරක්ෂා කරන්න මට වුවමනා නැහැ. මම මේ රටේ ආරක්ෂා කර තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාස පමණයි. දෝෂාභියෝගය ගෙන එද්දී මුලින්ම ඉදිරියට ආවේ මමයි. වෙන කිසිවකුත් ආරක්ෂා කර නැහැ.

මම ආවේ ඩී.එස්. සේනානායක උරුමයෙන්. ඩඩ්ලි උරුමයෙන්. සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග උරුමය ඇතිවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ උරුමය ඇතිවයි.

අප රට බේරගන්න එකට එකතු වෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සිටි සැමටම ආරාධනා කරනවා. මම දැන් රට බේරාගෙන තිබෙනවා.

දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනලු. සජබෙ එක්ක එකතුවෙලා දූෂණයට විරුද්ධව සටන් කරන්න මා සූදානම්. හැබැයි එක කොන්දේසියක් තිබෙනවා. පාසල්වලට දෙන බස්වලට සල්ලි දුන්නේ කවුද කියා කියන්න.

සජිත් ප්‍රේමදාස රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන්නම්. අපි ඔක්කොම එකම ගමනක් යමු. එදා තෙල්, කෑම තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඩීසල් තිබෙන නිසා බස් ගෙනත් පාසල්වලට දෙන්න පුළුවන්කම තිබෙනවා. අප එකතු වුණේ රට බේරාගන්න. එකට වැඩ කරපු නිසා වසර දෙකෙන් මෙතනට පැමිණ තිබෙනවා. දැන් අපි ටිකෙන් ටික බංකොලොත්භාවයෙන් එළියට එනවා. නමුත් ගමන අවසන් නැහැ.

මූල්‍ය අරමුදල, අපට ණය දෙන රටවල් ගණනාවක් මෙන්ම අපට ණය දෙන බැඳුම්කරුවන් අපගේ කොන්දේසිවලට එකඟ වී තිබෙනවා. ඒ කොන්දේසි මාරු කරන්නට දැන් හැකියාවක් නැහැ. මේ කොන්දේසි සමඟ එකඟ නම් අප සමඟ එන්න. මේ ක්‍රමය අතහැරියොත් අප නැවත පහළට වැටෙනවා. අපට ආනයන ආර්ථිකයක් වෙනුවට අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි.

දළ දේශීය නිෂ්පාදනය අද ඩොලර් මිලියන 85යි. 2028 වන විට එය 350ක් බවට පත් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය යන මේ වේගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟයි. සජබෙ මේ වේගය එපා කියන්නේ ඇයි?

අපි ඒ ගමන යා යුතුව තිබෙනවා. මහනුවර ජනතාව හැමදාම මා සමඟ ඉන්නවා. අප බෝගම්බර හිල්ටන් හෝටලයක් දාන්නට යනවා. පැරණි තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ ටාජ් හෝටලයක් දානවා. ඒවා කතා කරගෙන ඉවරයි. මහනුවර දකුණ ඩිපෝව ඉවත්කොට එතනත් හෝටල් ඉදිකරනවා. ඒ ආකාරයට හෝටල් පහක් ඉදිකරනවා.

මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා ව්‍යාප්ත කිරීමට ජපානය අපට ආධාර කරනවා. කොත්මලේ දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලය ඉදිකරනවා.

එමෙන්ම උරුමයේ ඉඩම් අයිතිය දෙමින් සිටිනවා. වතුකරයට නව ගම්මාන ලබා දෙනවා. එමෙන්ම අධිවේගී මාර්ගය ජපන් ආධාර ඇතිව කටුගස්තොට දක්වා ගෙන එනවා. අපි එකතුව මේ ගමන යමු. මේක අත්හරින්න බැහැ. අපි සියලු දෙනා එක්ව රට වැටෙන්නට ඉඩ නොදී ඉදිරි ගමන යමු.

සජබෙට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් ඒ ගමන යන්නට එන්නැයි ආරාධනා කරනවා.

පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:-

සෙංකඩගල පුරවරයේ මෙවැනි වේදිකාවක් මීට පෙර දැක නැහැ. ජනපති සමග දේශපාලන වේදිකාවකට අප නගින්නේ ප්‍රථම වතාවටයි. මහනුවර බලකනු සියල්ල අද මේදිකාවේ සිටිනවා. මාතලේට ගියත් එහි බලකනු සියල්ලම රනිල් වටා පෙළ ගැසී සිටිනවා. මුළු මධ්‍යම පළාතම ඔබ සමඟයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් තිහකට වැඩි පිරිසක් ඉතා කුඩා ආරාධනාවක් පරිදි අද මේ වේදිකාවට පැමිණ සිටිනවා. මේ වේදිකාවට නැග්ගේ වරදාන වරප්‍රසාද බලාගෙන නොවේ. මිනිසුන් පෝලිම්වල මැරී වැටෙන යුගයක් පසු කරමින් අප පැමිණියා. මා ගරු කරන රාජ්‍ය නායකයන් තුන්දෙනෙක් මේ රටේ ඉන්නවා එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ, දෙවැනි නායකයා කොරෝනා වලින් රට බේරා ගත් ගෝඨාභය රාජපක්ෂ, තුන්වන නායකයා වන්නේ මිනිසුන් කන්න බොන්න නැතිව සිටියදී රට භාරගෙන ආර්ථිකය පරිවර්තනය කළ රනිල් වික්‍රමසිංහ මහතායි.

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා:-

අපේ සමාජ සංවර්ධන වැඩසටහන 2022 වසරේ දී බිඳ වැටුණා. කොරෝනා වසංගතය ඊට එක් හේතුවක් ලෙස හැඳින්විය හැකියි. එහිදී ආර්ථිකයට මරු පහරක් වැදුණා. සංචාරක ඉපැයීම් දැඩි ලෙස පහත වැටුණා. ඒ අනුව ඩොලර් බිලියන හතක අටක ආදායම අපට අහිමි වුණා.

එමෙන්ම අපට ආර්ථික කළමනාකරණයේ යම් යම් ගැටලු මතුවුණ බව කිව යුතුයි. ඒ අභියෝගාත්මක මොහොතේ මුහුණ දෙන්නට සිටි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි. එතුමා අසීරු තීන්දු කොන්ද කෙළින් තබාගෙන අරගත්තා. මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මෙරට ඊළඟ ජනාධිපතිවරයා පත්කර ගන්නේ මේ අපේ බලවේගය බව පැවසිය යුතුයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-

ජනපතිගේ වැඩපිළිවෙළ නතර කිරීම සඳහා වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය කටයුතු කළා. ඔවුන්ගේ අරමුණ වූයේ ජනතාව පාරට බැස්සවීමයි. ජනපතිට පාඩමක් ඉගැන්වීම ඔවුන්ගේ අරමුණ වුණා. මීට කලින් ජනතාව පාරට බැස්සේ ඔවුන්ට සැබෑ පීඩනයක් එකල පැවති නිසයි. නමුත් අසීරු තීන්දු ගෙන රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ ජන පීඩනය නතර කිරීමට කටයුතු කළා. සේවයෙන් ඉවත් කිරීමේ ලියුම් ටික ගැසූ සැණින් වර්ජන රැල්ල අවසන් වුණා.

රනිල් වික්‍රමසිංහ සමඟ ඒ බය තබා ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණට කියනවා. පොදු ජන පෙරමුණ ඇතුළු සියලුම දේශපාලන පක්ෂ ඒකරාශී වී කියන්නේ රනිල් සමඟ තව වසර පහක් ඉදිරියට යන බවයි. අප සියලු දෙනා එක්ව සිටින්නේ පක්ෂයක් ලෙස නොව රට හැටියටයි.

පොදු ජන පෙරමුණේ කෑල්ලක් නොව මුළු පක්ෂයම රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න පෙළ ගැසෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා:-

දක්ෂ මිනිසුන් රැසක් අප සමඟ එක්වී සිටිනවා. ජාතියේ අපේක්ෂකයා වෙනුවෙන් මේ දක්ෂයන් පිරිස එකට එක්වී සිටිනවා.

විවිධ වර්ජන තබමින් ජනතාව බිලිගත් ජනතා විමුක්ති පෙරමුණ පසුගාමී බව පිළිගෙන තිබෙනවා. ඔවුන් විසින් අද වර්ජකයන් පාවා දී තිබෙනවා. අරගලයක් හදන්නට ගොස් ඔවුන්ගේ හොම්බ බිම ඇනී තිබෙනවා.

අරගලවලින් මිනිසුන් බිත්තියට හේත්තු කරන අයට කනේ පාරක් දෙන්න මහනුවරට අද ජනතාව රොද බැඳ සිටිනවා.

සජිත්ගේ මන්ත්‍රීවරුන් අද ආසයි බයයි තත්ත්වයට පත්ව තිබෙනවා. සජිත්ගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක්ගේ හිතේ මේ වන විට තිබෙන්නේ මේ වෙලාවේ රනිල් තමයි කියන හැඟීමයි.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා:-

අප නුවරින් වැඩක් පටන් ගත්තොත් කවදාවත් අත්හරින්නේ නැහැ. මහින්ද එදා පරාජයට පත්වී ගෙදර යන විට හිටියේ මා විතරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය නැතිව මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරන්න කාටවත් බෑ.

අප අද මෙතනට සහභාගී වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිවයි. ජනතා විමුක්ති පෙරමුණේ රට වනසන වැඩපිළිවෙළට අප ඉඩ දෙනවාද? අනුර කුමාර මෙතනට 16 වෙනිදා එනවා. මමත් එනවා ඒක බලන්න.

අනුර කුමාර රටට කළ එක දෙයක් කියන්න. අනුර කුමාරට මේ රටේ ජනාධිපති වන්නට ඉඩ තියන්නේ නැති බව මෙහි දී කිව යුතුයි. සජිත් ගැන නම් කතා කරලවත් වැඩක් නැහැ. මා ජීවිතේ කිසි දිනක රනිල් වෙනුවෙන් ඡන්දයක් දී නැහැ. හැබැයි ඔබ අද රටට කළ මෙහෙවර ගැන අප හොඳින්ම දුටුවා. ඒ නිසා මෙවර අපි බය නැතුව ඔබතුමාට ඡන්දය දෙනවා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා;-

වෙනදා ඔබ අමතන්නේ මූලාසනයේ මහින්ද රාජපක්ෂ මහතා තබා ගෙන. ඉතිහාසයේ ප්‍රථම වරට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මූලාසනයේ තබාගෙන අද අපි කතා කරනවා.

සිදුවී තිබෙන මේ වෙනස මොකක්ද? අප මේ වැඩ කරන්නේ ඇමැතිකම් බලාගෙන නොවේ. අපි අදටත් කියන්නේ මහින්ද මහත්තයාගේ මිනිස්සු කියන කාරණයයි. නමුත් අපට පාරට බහින්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. එසේ තිබුණු රටක් මේ තත්ත්වයට ගොඩනැ‍ඟීම ගැන කළගුණ සැලකීම සඳහා අප රනිල් වික්‍රමසිංහ සමඟ අත්වැල් බැඳ සිටිනවා. අප මහින්ද සුළඟ පටන් ගත්තෙත් මේ වේදිකාවෙන්මයි.

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා:-

මේ රටේ ඉරණම වෙනස් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එසේ නැතිනම් තවමත් පෝලිම් යුගයේ ජනතාවට දුක් විඳීමට සිදුවෙනවා.

මේ වෙලාවේ රට පවතින තැන අප තීරණය කළ යුතුයි. මේ වෙලාවේ රට තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ. ඉදිරි මැතිවරණයේ දී තීරණය කළ යුත්තේ රට මෝචරියට ගෙන යනවාද එසේ නැතිනම් සුව අතට ගෙන යනවාද කියන කාරණයයි.

ඇතැම් දේශපාලන පක්ෂ මේ මොහොතේ සුරංගනා කතා කියනවා. ඒ පක්ෂ එදා තෙල් නැති වෙනකොට කතා කරන්න ඉදිරිපත් වුණේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා:-

අප නිදහස ලැබූ දා සිට අපේ රට මෙලෙස ප්‍රපාතයකට ඇද වැටුණේ නැහැ. 2001 වසරේ දී සහ කොරෝනාවලින් පසුව රට ඇද වැටුණා. චන්ද්‍රිකා මැතිනියට මුදල් අමාත්‍යාංශය හරියට කරගෙන යන්න බැරිවීම නිසා 2001 වසරේ දී රට වැටුණා. එහි දී රනිල් වික්‍රමසිංහ රට භාරගෙන ආර්ථිකය නැවත වර්ධනය කළා. එමෙන්ම සහලින් රට ස්වයංපෝෂිත කළා.

කොරෝනා වසංගතයත් සමඟ රට කඩා වැටුණ විට සජිත්, අනුර හැංගෙද්දි පාර්ලිමේන්තුවේ සිටි තනි අලියා වන රනිල් වික්‍රමසිංහ රට භාර ගත්තා.

මේ රට අපරාධකාරයන්ගෙන්, මිනීමරුවන්ගෙන් බේරගත්තේ තනි පුද්ගලයෙක් වන රනිල්. ඒක කාටවත් අමතක කරන්න බෑ.

පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:-

සෙංකඩගල පුරවරයේ මෙවැනි වේදිකාවක් මීට පෙර දැක නැහැ. ජනපති සමඟ දේශපාලන වේදිකාවකට අප නඟින්නේ ප්‍රථම වතාවටයි. මහනුවර බලකණු සියල්ල අද මේ වේදිකාවේ සිටිනවා.

මාතලේට ගියත් එහි බලකණු සියල්ලම රනිල් වටා පෙළ ගැසී සිටිනවා. මුළු මධ්‍යම පළාතම ඔබ සමඟයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරුන් තිහකට වැඩි පිරිසක් ඉතා කුඩා ආරාධනාවක් පරිදි අද මේ වේදිකාවට පැමිණ සිටිනවා.

මේ වේදිකාවට නැග්ගේ වරදාන වරප්‍රසාද බලාගෙන නොවේ. මිනිසුන් පෝලිම්වල මැරී වැටෙන යුගයක් පසු කරමින් අප පැමිණියා.

මා ගරු කරන රාජ්‍ය නායකයන් තුන්දෙනෙක් මේ රටේ ඉන්නවා එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ, දෙවැනි නායකයා කොරෝනාවලින් රට බේරා ගත් ගෝඨාභය රාජපක්ෂ, තුන්වන නායකයා වන්නේ මිනිසුන් කන්න බොන්න නැතිව සිටිය දී රට භාරගෙන ආර්ථිකය පරිවර්තනය කළ රනිල් වික්‍රමසිංහ මහතායි.

එක්සත් ලක් වනිතා සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ, මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක යන මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨයෝද , ජන මාධ්‍ය සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු ද මෙම රැස්වීමට සහභාගී වූහ.

අසේල කුරුළුවංශ, මහනුවර දිස්ත්‍රික් සමූහ – නිහාල් ජයවර්ධන

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website