සෙනසුරාදා, 03 අගෝස්තු 2024 12:51

සසුනඹර බැබැල වූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙති Featured

ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව සඳුදා

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් ඊයේ (02 දා) අපවත් වී වදාළ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන් දැනුම් දෙයි.

දිගුකලක් රෝගාතුරව වැඩ සිටි උන්වහන්සේ ඊයේ (02 දා) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට 81වන වියෙහි පසුවූහ.

ගල්බොඩ කංකානමගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙලේනා යුවළගේ පුතෙකු ලෙස 1943 දෙසැම්බර් මස 14වැනිදා උපන් උන්වහන්සේ එකොළොස් වන වියේදී සසුන්ගත වූයේ එවකට ගංගාරාමාධිපතිව වැඩ විසූ දෙවුන්දර වාචිස්සර නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙනි.

කුඩා අවදියේ පටන් ගංගාරාමය හරහා දියත් වූ සමාජ හා ආගමික ක්‍රියාකාරකම්වලට සක්‍රියව දායක වූ ඤාණිස්සර නාහිමියෝ ශ්‍රී ජිනරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ගංගාරාමාධිපති ධුරයට පත් වූහ.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ලෙසින් කා අතරත් ගෞරවාදරයට පාත්‍ර වූ ඤාණිස්සර නාහිමියන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් දියත් කළ ආගමික හා සාමාජීය මෙහෙවර අතිමහත්ය.

විශේෂයෙන්ම වාර්ෂිකව පවත්වන නවම් පෙරහැර තුළින් කොළඹ නගරයේ බොදු සිරිය වඩවාලීමට ලබාදුන් දායකත්වය අති විශාලය. එමෙන්ම ජිනරතන කාර්මික විද්‍යාලය තුළින් දරුවන් දස දහස් ගණනකට කාර්මික දැනුම ලබාදී ඔවුන් සුදුසු රැකියාවකට යොමු කිරීම පොඩි හාමුදුරුවන් විසින් සිදුකළ සුවිශේෂී සමාජ මෙහෙවරකි.

එසේම උන්වහන්සේගේ මෙහෙවර කොළඹ නගරයට සීමා නොවූ අතර කතරගම පිහිටි ගංගාරාම විශ්‍රාම ශාලාව තුළින් වන්දනාකරුවන්ට සැලසෙන සේවය අතිමහත්ය. එසේම ආබාධිත දරුවන් රැකබලා ගැනීම, ආර්ථික ගැටලු ඇති විහාරස්ථානවලට උපකාර කිරීම ආදී සුවිශාල සමාජ මෙහෙවරක නිරත වූ ඤාණිස්සර නාහිමියෝ ජාති, ආගම් භේදයෙන් තොරව කොළඹ නගරයේ ජීවත්වන කා සමගත් සුහදව කටයුතු කළ යතිවරයෙකි.

කලක් විදෙස්ගතව ද ප්‍රතිකාර ලැබූ ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණෝ ඊයේ (02 දා) උදෑසන හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර එහිදී උන්වහන්සේ අපවත් වූහ.

අපවත්වී වදාල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව ලබන සඳුදා (05 වැනිදා) සවස සිදු කිරීමට ආදාහන කමිටුව තීරණය කර ඇත.

ගංගාරාම විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වේ.

දේහය අද (03දා) පෙරවරු 6.00 සිට විහාරස්ථානයේ තැන්පත් කර තබන බවද ආදාහන කමිටුව සඳහන් කරයි.

කමල් බෝගොඩ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website