සදුදා, 05 අගෝස්තු 2024 06:09

ජනාධිපතිවරණ සටන සඳහා රාජ්‍ය මාධ්‍ය අවභාවිතය මැතිවරණ නීති උල්ලංඝනයක් - සජබ මහ ලේකම් තිස්ස අත්තනායක Featured

ශ්‍රී ලංකාවේ ජනතාව නිවැරැදි ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට නියමිතව අතර ජනාධිපතිවරණයක ප්‍රශ්චාත් කාල සීමාවේ සිටී. මැතිවරණ පැවැත්වීම මගින් රටකට අවශ්‍ය කරන නායකයින් කලින් කලට සාධාරණ ලෙස තෝරාගැනීමට ඉඩකඩ සැලසීම ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක මූලික ලක්ෂණයකි.

මේ කාල සීමාව තුළ ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාටම එකම වරප්‍රසාද හිමිවිය යුතු බව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන්නේ එබැවිනි. මැතිවරණයකදී ජනතාව බොහෝවිට දැනුවත් වන්නේ තමන්ට ඇසෙන පෙනෙන තොරතුරු ආශ්‍රයෙනි. ජනතාවට සිය ඡන්දය භාවිත කිරීම සඳහා ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අතිශය වැදගත් වන්නේ එහෙයිනි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 35කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාල පහසුකම් ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරනු ලැබේ. බොහෝ විට විද්‍යුත්, ගුවන්විදුලි සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අනෙකුත් පිරිස් වෙත තොරතුරු ලැබෙන්නේ යැයි උපකල්පනය කළ හැකිය. මේ පිරිස අතරින් වැඩි ප්‍රමාණයක් භාවිත කරන්නේ රාජ්‍ය මාධ්‍යය වේ. ඒ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සේවය සහ ස්වාධීන රූපවාහිනී සේවය වැඩි ග්‍රාමීය පිරිසක් නරඹන බව නොරහසකි.

ජනාධිපතිවරණයකදී යම් අපේක්ෂකයකු ඇප තැම්පත් කිරීමෙන් පසු ඔහු මැතිවරණ නීතිරීතිවලට යටත්ව සිය ප්‍රචාරණ කටයුතු මෙන්ම ඡන්දය ලබාගැනීම උදෙසා කටයුතු කිරීම කළ යුතුය. වර්තමාන ජනාධිපතිවරයා මේවන විට ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඇප තැම්පත් කර සිටින අතර ඔහු දැන් ජනාධිපති අපේක්ෂක‌යෙකි. එමෙන්ම ඔහුගේ නිල කාලය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේද රැඳී සිටිමින් කටයුතු කළ යුතුය.

මැතිවරණයට ඇප තැම්පත් කළ අයෙකු ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරණය කරන්නේ යැයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා මාධ්‍ය වෙත පැවැසීය.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදන ඉදිරිපත් කරනු ලබමින් ජනපතිගේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් යොදා ගැනීම වැරැදි බවත් රාජ්‍ය මුදල් ජනතා මුදල් වන බවත් එම සම්පත් යොදාගෙන ජනපති මාධ්‍ය අංශය මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ යැයි ඔහු චෝදනා කළේය. ජනාධිපති වරප්‍රසාද භුක්ති විඳිමින් මැතිවරණයක් කිරීම සුදුසු නැතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාටම රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යයන්ද සමාන කාලවේලාවක් ලබාදිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වේ. විශේෂයෙන්ම අපේක්ෂකයකු වෙනුවෙන් මාධ්‍ය ආයතනයේ හෝ රාජ්‍ය නිලධාරින් ගෙන්වා සුදුහුනු ගෑම සිදු කළ නොහැකි අතර එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි.

ජනාධිපති මාධ්‍ය ඒකකය දිගින් දිගටම ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ යන මාධ්‍ය වැඩසටහන ඔස්සේ වර්තමාන පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සිය විෂයයෙහි සිදු කරනු ලැබූ සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳව සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත සැලසුම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. එය නිල නිවේදන නිකුත් කිරීමට භාවිත කිරීමෙහි වරදක් නොමැත. එහෙත් එම එක් එක් ඇමැතිවරුන් සිය විෂයෙහි කාර්යභාරය ඉටුකළ අන්දම පැහැදිලි කරන අතර තුරදී ඒ සඳහා වර්තමාන ජනාධිපතිවරයාගේ දායකත්වය, කැපවීම, මනා තීරණ ගැනීමේ හැකියාව ආදී කරුණු පැහැදිලි කිරීමටද අමතක නොකරයි.

ඊට හොඳම උදාහරණය අගෝස්තු 01 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි. විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රිඩි මහතා එම වැඩසටහනේ කථානායකයා ලෙස විදේශ ප්‍රතිපත්තිවල සාර්ථකත්වය පිළිබඳවත් සිය ධුරයේ වගකීම් ඉටුකළ ආකාරයත් පැහැදිලි කළ ආකාරය එම නිවේදනයේ විය.

ඇමැතිවරයා එම කථාව සිංහල, ඉංග්‍රීසි සහ දමිළ බසින් ඉදිරිපත් කළ අතර එහි සිංහල බසින් සිදුකළ කථාවේ අවසන් විනාඩි කිහිපයේ උපුටා ගැනීම මෙසේය.

‘ජාත්‍යන්තර වශයෙන් ගරු ජනාධිපතිතුමාගේ හැකියාව, පළපුරුද්ද හා ඒ සම්බන්ධතා ඇති කරගෙන විශාල ජයග්‍රහණ ලබාගැනීමට අපිට හැකිවුනා. ඒ සම්බන්ධතා අපේ රටට විශාල වාසි රාශියක් ලබාදී තිබෙනවා.

විදේශ ණය කළමනාකරණය කිරීම තුළින් අවසාන වශයෙන් අපට ඩොලර් බිලියන 8ක පමණ වාසියක් අත්කර තිබෙනවා. සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් අපට බිලියන 17ක පමණ වාසියක් ලැබෙනවා කියලා අපි දන්නවා. මේ සියල්ල කළමනාකරණය කිරීම සඳහා හැකියාව, දැනුම සහ පළපුරුද්ද සහ ඒ සඳහා අවශ්‍ය ධෛර්ය තිබිය යුතුයි කියන එක සහ එහි විශාල ප්‍රමාණයක් ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතුයි. ඒ සම්බන්ධතා, ඒ හැකියාව, පළපුරුද්ද, ඒ දැනීම මේ සඳහා හේතු වුනා යැයි කියන එකයි මේ අවස්ථාවේදී කියන්නට ඔනා.

එතුමා මේ අවුරුදු දෙකක් තුළ ඉතාමත්ම අසීරු ආර්ථිකය කළමනාකරණය කරගෙන යම් ස්ථාවර තැනකට පැමිණ තිබෙනවා. මම දන්නවා සමහර වෙලාවට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කියනවා “අපි ඉන්නේ, සිංහලෙන් කියනවා ‘අපායේ ඉන්ටර්වල් ඒකේ’ කියලා.” එහි යම් ප්‍රමාණයක සත්‍යකුත් තිබෙනවා. අපි සම්පූර්ණයෙන්ම මේකෙන් එළියට ඇවිත් නෑ. ඉතාමත්ම අමාරු තැනකින් යම් ප්‍රමාණයක ස්ථාවරත්වයක් ඇතිකරගෙන තිබෙනවා‍. හැබැයි මේක අතුරේ යනවා වගේ අමාරු වැඩක්. මේක අරෙහෙට මෙහෙට වෙන්න ගිහින් එක කකුළක් බිමට ගියොත් එහෙම අතුරෙන් බිමට වැටෙන්න තමයි වැටෙන්නේ. ඒකෙ ඇත්තක් තිබෙනවා. ඒගොල්ල කියන කතාවේ, මං දන්නේ නැහැ, ඒගොල්ලන්ට ඔන මේක අතුරෙන් වට්ටලා, අපායට අයෙ දාන්ඩද, එහෙම නැත්තම් මේ ඉන්ටර්වල් එක පර්මනන්ට් කරගන්නද, කියලා ඒක අපි ඒගොල්ලන්ගෙන් අහන්නට ඔනා. නමුත් ඒකේ ඇත්තකුත් තිබෙනවා. ඒහින්දා තමයි මම පෞද්ගලිකව හිතුවේ, අපි මේ වෙලාවේදී අපේ පෞද්ගලිකත්වය පැත්තකට දාලා, අපේ පක්ෂ පැත්තකට දාලා, පොදුවේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළට ජනාධිපතිතුමාට සහාය දෙන්න...” උපුටාගැනීම අවසන්.

විදේශ කටයුතු ඇමැතිවරයාගේ මේ කථාව පිළිබඳ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

ජනාධිපති මාධ්‍ය අංශය තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නිල කටයුතු කිරීමට පමණයි. ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු කිරීමට එය යොදාගත නොහැකියි. මා මේ පිළිබඳව අප සංවිධානයේ මතය ජනමාධ්‍ය වෙත දන්වා සිටියා. ඒවගේම මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.”

ජනාධිපති හෝ අගමැති හෝ ඇමැති වේවා එම නිල තනතුරට අදාල මාධ්‍ය කටයුතු පමණක් සිය රාජ්‍ය මාධ්‍ය අංශය ඔස්සේ සිදු කළ හැකි බවත් සිය දේශපාලන කටයුතු සිදු කළ නොහැකි බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා කීය.

ආණ්ඩුව රාජ්‍ය සම්පත් භාවිත කරමින් සිය දේශපාලන කටයුතු සඳහා බරපතල ලෙස යොදා ගනමින් සිටින බවත් තමන් හැකි අයුරින් එ් පිළිබඳ කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 


| ඉරෝෂා දීපානි

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website