සදුදා, 05 අගෝස්තු 2024 11:37

විපක්ෂය දෙන පොරොන්දු දේශපාලන වේදිකාවට සුදුසු වුවද රටට සුදුසු නෑ Featured

ඒවා කිරීමට යාමෙන් සිදු වන්නේ නැවත රටේ ආර්ථිකය කඩා වැටීමයි

මෙවර ජනාධිපතිවරණයේ දී රජයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවිය යුත්තේ එම නිසයි

නොමිලේ සපත්තු ලබා දුන් පමණින් රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ

-ත්‍රිකුණාමලයේදී ජනපති පවසයි

විපක්ෂය ලබා දෙන පොරොන්දු දේශපාලන වේදිකාවට සුදුසු වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට යාමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සමඟ අඛණ්ඩව ඉදිරියට යා යුතු බව පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ දී සියලුදෙනා එක්ව රජයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවිය යුත්තේ එම නිසා බව ද කියා සිටියේය.

දේශපාලනය කිරීමට රටේ යහපත් ආර්ථිකයක් පැවතිය යුතු බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා නොමිලේ සපත්තු ලබා දුන් පමණින් රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් හිමි නොවන බවත් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවති හමුවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

දැන් අපට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට හැකි වී තිබෙනවා. ඒ අතර ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් අපි අස්වැසුම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ වගේම සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ උරුමය වැඩසටහනද ක්‍රියාත්මක කර තිබෙනවා.

දැන් කොළඹ මහල් නිවාසවල ජීවත්වන දෙලක්ෂ පනස්දහසකට එම නිවාසවල අයිතිය ලබා දීමටත්, කඳුකරයේ ගම්මාන ඇති කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. මේ රට බංකොලොත් නොවූ සමයේ කළ නොහැකි වූ දේ අපි බංකොලොත් රටක් ලෙස සිටින අවස්ථාවේ දී සිදු කළා. ඒ අපි සියලුදෙනා එකට වැඩ කිරීම නිසයි. ආණ්ඩුව ආරක්ෂා කරගත් නිසයි. අප ඉදිරියටත් ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කර එකඟත්වයකට පැමිණිමට අපට හැකි වුණා. ඔවුන් අපට 2042 වන තෙක් කාලය ලබා දී තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන කොන්දේසි කඩකළහොත් අපට එම සහන අහිමි වෙනවා. බලයට පැමිණි විට කරන දේවල් ගැන දැන් විපක්ෂය කියනවා. ඔවුන් කියන දේවල් කරන්න ගියොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ නිසයි අපි සියලුදෙනා එක්ව මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුත්තේ.

ඒ වගේම අපි තරුණ තරුණියන් වෙනුවෙන් මේ රට ගොඩනඟා දිය යුතුයි. අපේ මූලික ප්‍රශ්නය වන්නේ ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය ප්‍රමාණවත් නොවීමයි. ඒ නිසා අපට ණය ලබා ගැනීමට සිදු වෙනවා. මෙය අවුරුදු 10ක් සිදු වුවහොත් තව අවුරුදු 15ක් ගත වන විට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ නිසා අපි ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. රට ඉදිරියට ගෙන යා හැක්කේ අපනයන ආර්ථිකයක් තුළින් පමණයි. අලුත් ව්‍යාපෘති ආරම්භ කරමින් අපි මෙම වැඩකටයුතු ඉදිරි වසර පහේ දී සිදු කළ යුතුයි.

නොමිලේ සපත්තු ලබාදීමෙන් පමණක් මේ රටේ ප්‍රශ්න විසඳෙනවද, සපත්තු ලබාදීමටත් මුදල් අවශ්‍යයි. දේශපාලනය කරන්න රටේ ආර්ථිකයක් තිබිය යුතුයි. අල්ලපු ගෙදර අය පොදු ජන පෙරමුණේ, ඊළඟ ගෙදර අය එක්සත් ජාතික පක්ෂයේ, අනිත් ගෙදර අය සමගි ජන බලවේගයේ වුණාට තුන් වේල කන්න නැත්නම් වැඩක් තියෙනවද, ඒ නිසා අපි සියලුදෙනා එක් විය යුතුයි.

අගමැතිකම භාරගන්නා ලෙස දැනුම් දුන් විට පැනලා දුවන්නේ කවුද. අගමැතිකම සිඟමන් යැදි වෙන රටක් තිබෙනවද, මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහත්තයා එදා හොයා ගන්නවත් හිටියේ නැහැ. නමුත් අපි මේ අභියෝගය භාරගෙන රට සංවර්ධනය කළා. එම සංවර්ධන වැඩපිළිවෙළේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

අවුරුදු 04ක් මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලැබුණේ නැහැ. ඒ නිසා අපි දැන් මේ සෑම පළාතක් වෙනුවෙන්ම නව ව්‍යාපෘති ලබාගෙන තිබෙනවා. එහි දී ත්‍රිකුණාමල වරාය දියුණු කිරීම පිළිබඳ ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රදේශය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කර්මාන්තපුරයක් ඇති කිරීමට අක්කර දහසක් පමණ වෙන් කර තිබෙනවා. කන්තලේ ප්‍රදේශයේ නව වගාවන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන් ද, නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පළාත් සභා හිටපු අමාත්‍ය නවරත්න රාජා, ත්‍රිකුණාමලය පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදයේ ලේකම් සාලිය රත්නායක, හිටපු ලේකම් සඳුන් රත්නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ඒ.පී. අමීන් යන මහත්වරුන් ද, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන්, හිටපු සභාපතිවරුන්, ක්‍රියාකාරී සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website