අඟහරුවාදා, 06 අගෝස්තු 2024 13:41

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 9 දා තෙක් දික් කරයි Featured

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය ලබන 9 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (05) දිනයෙන් අවසන් වූ අතර ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙම 9 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරණ තැපැල් ඡන්ද සඳහා අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර කොමිසමේ වෙඩ් අඩවිය වන www.election.gov.lk වෙත මේ වන විට ඇතුළත් කර ඇති බව ද එහි දක්වා ඇත.

තැපැල් ඡන්ද යොමු කිරීමේදී ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීමට 08 සහ 09 දෙදින තුළ තැපැල් ඡන්ද අයදුම්පත් එක් එක් මැතිවරණ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගොස් භාර දෙන ලෙසට එම නිවේදනයේ දක්වා ඇත.

……………………………..

ඡන්දය දාන්න එක් කෝටි 71 ලක්ෂයක් සුදුසුකම් ලබති

සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මෙවර 17,140,354ක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 1,765,321ක් සුදුසුකම් ලබා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1,881,129ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් 1,024,244ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 1,417,226ක් ද ඡන්ද හිමියන් සුදුසුකම් ලබා ඇති බවට කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර ඡන්ද හිමියාට තැපෑලෙන් ලැබෙන නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් කර ඇති ඡන්ද පොළින් පරිබාහිරව වෙනත ඡන්ද පොළක ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද හිමියන්ට රටේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත් අසත්‍ය බව ද කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මීට අමතරව තැපැල් ඡන්ද හිමිකම ඇති අයකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බවත් 2024 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනය වෙත ඡන්ද හිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇති බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවකුටත් අවකාශ නැති බව එම නිවේදනය මඟින් මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website