සිකුරාදා, 09 අගෝස්තු 2024 09:34

සමගි ජන සන්ධානය එළිදකී Featured

වංචනික දේශපාලන රටාවෙන් ඈත් වී රටේ දුක්විඳින ජනතාවට විසඳුම් දෙන සන්ධානය ඇරඹුවා

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවේ ඓතිහාසික යුග මෙහෙවරකට මුල පුරන අවස්ථාවේ දී මාතෘභුමියේ ලක්ෂ 220කගේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වංචනික දේශපාලන රටාවෙන් බැහැර වී රටේ දුක්විඳින ජනතාවට විසඳුම් ලබාදෙන සන්ධානය ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘සැමට ජයක් සමගි රටක්’ යන තේමාවෙන් සංවිධාන කර තිබූ සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (08) පැවැත්විණි. සජිත් ප්‍රේමදාස මහතා එහිදී මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණ, නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග මහත්වරුන් ඇතුළු දේශපාලන සංවිධාන රැසක් ඊයේ (08) සමගි ජන සන්ධානය සමඟ එක්වූහ.

ඒ සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණ මහතා, නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා, ජී.එල් පීරිස් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා, පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග මහතා, රාමසාමී රාජේන්ද්‍රන්, ඊ.එල්.බී. සබීල්, විජය සුරේන්ද්‍රම් රමේෂ්, ‍ෙජනරල් මහේෂ් සේනානායක සහ දේවිකා කොඩිතුවක්කු මහත්ම මහත්මීහු අත්සන් තැබූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අත්සන් තැබීය.

නිදහස් නිවහල් දේශයක් ලෙස නැවතත් ලෝකයේ අංක 1 බවට අප රට පත් කිරීමේ ගමනට නායකත්වය දීම මෙහි මූලික අරමුණ වන අතර මීට අදාළ ප්‍රතිඥාවද ලබාදීම සිදු විය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

හොඳ පෞරුෂයක් ඇති විශිෂ්ට මාතෘ භූමියක් නිර්මාණය කළ යුතුයි. ජාති ආගම් කුල වශයෙන් රටක් ලෙස අද අපි බෙදී සිටිනවා. මේ බෙදුනු දේශය මතු පරපුරට දායාද කළ නොහැකි නිසා අපි මේ රට මුදා ගත යුතුයි. මේ බෙදීම ඉදිරි පරම්පරාවට දායාද කරන වැඩපිළිවෙළ අපි නතර කළ යුතුයි. මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් දිය යුතුයි. පෞද්ගලික අභිලාස පැත්තකට දමා පරාර්ථකාමී සංකල්පයම පෙරදැරි කරගෙන ශ්‍රී ලංකාව අංක 1ට ගෙන ඒමට එකතු වීම සතුටට කරුණක්. රට ගොඩනඟන එකමුතුව යන ගමනේ පළමු පියවර මෙසේ සනිටුහන් කළා.

සමගියෙන් බිහි වූ රට විනාශ කරන්න බෙදන්න විවිධ අවස්ථාවල මේ එකමුතුභාවය නැති කරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලජ්ජා නැති ලෙස කටයුතු කරනවා. මේ සන්ධානය බාර් ෆර්මිට්වලට වරදාන වරප්‍රසාදවලට ලබා ගන්න හැදුවත් මේ ජරාජීර්ණ වූ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නවා. සමගි ජන බලවේගයේ වරදාන වරප්‍රසාදවලට රට පාවා දෙන අය නැහැ.

සමගි ජන සන්ධානය නිර්මාණය වන්නේ ග්‍රාමීය, නාගරික, වතු ප්‍රජාවගේ දුප්පත්භාවය ව්‍යාප්ත වන මොහොතකයි. එම දුප්පත්භාවයෙන් රටේ ජනතාව මුදා ගැනීමට කටයුතු කරනවා වගේම දූෂිත වංචනික ක්‍රියාදාමයන් තුළින් රට බංකොලොත් කළ ආර්ථික අපරාධකරුවන් අධිකරණයට ගෙනැවිත් නීතිය ක්‍රියාත්මක කර රටට අහිමි වුණ සියලුම මුදල් රටේ පොදුජනතාවගේ උන්නතිය වෙනුවෙන් යොදවනවා. අපනයන කෙන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට මුල පුරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලගේම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කර්මාන්ත ඇති කිරීමේදී ඊට අකුල් හෙළීමට පිරිසක් සිටියා. වර්තමානයෙත් එවැනි පිරිසක් සිටිනවා. සැප්තැම්බර් 21 වැනිදා ලබාදෙන ජනතාවාදී ශක්තියෙන් සැප්තැම්බර් 22 වැනිදා සිට දැවැන්ත සංවර්ධනයක් රටේ ක්‍රියාත්මක කරනවා.

මාතෘ භුමියේ නව තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරන බවත් තොරතුරු තාක්ෂණ විප්ලවය සුළු වශයෙන් පාසල් මට්ටමින් ආරම්භ කර ඇති අතර එම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. රටේ තරුණ පරපුර සහ සිසු පරපුර කේන්ද්‍ර කරගෙන ඉතිහාසයේ ක්‍රියාත්මක වූ දැවැත්තම තොරතුරු තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරමින් තොරතුරු තාක්ෂණ නිපුණතාව තිබෙන මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන පාරාදිසය ශ්‍රී ලංකාව බවට පත් කරනවා.

ධීවර ක්ෂේත්‍රය, කෘෂිකර්ම ක්ෂේත්‍රය, තේ පොල් රබර් වගා ක්ෂේත්‍රය, ස්වයං රැකියා ක්ෂේත්‍රය ඇතුළු සියලුම කර්මාන්ත ශක්තිමත් කරන්න හැකිවන පරිදි රාජ්‍ය ප්‍රතිපත්තිය හසුරුවනවා. රටේ ජාතික සම්පත් රැක ගන්නා අතර ජාතික සම්පත් පාඩු ලබන තත්ත්වයක නොතබා ඒකාබද්ධ රාජ්‍ය පෞද්ගලික ව්‍යාපෘති හරහා පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරනවා. එමෙන්ම ගෞරවනීය රාජ්‍ය සේවයක් රටේ නිර්මාණය කරනවා.

රටේ සිටින සියලුම ජන කොට්ඨාස ගොඩනඟන්න කටයුතු කරනවා. උතුරු නැඟෙනහිර ජනතාව විඳින දුකින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කරනවා. වතු ප්‍රජාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් දෙනවා. සමගි ජන සන්ධානය ගමන් කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළෙඳපොළ ගමනකයි. ගජමිතුරු ධනවාදය බැහැර කළ අන්තවාදී සමාජවාදය බැහැර කළ ජනතා කේන්ද්‍රීය ශක්තිමත් මැද මාවතක ගමන් කරනවා. රටේ අඩකට වැඩි ප්‍රමාණයක් දිළිඳුභාවයෙන් පෙළෙන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා දුප්පත්භාවය තුරන් කිරීමට ජනසවිය ක්‍රියාත්මක කළා.ජන සවියටත් වැඩිය ශක්තිමත් දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර සීමාසහිත කාලයකට දුප්පත් ප්‍රජාවට දිය යුතු පරිභෝජන, අපනයන, ඉතිරි කිරීමේ, නිෂ්පාදන ශක්තිය ගොනු කරමින් දුප්පත් ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමේ වැඩසටහනක් එළි දක්වනවා.

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගමන් කරන්නේ තනි පුද්ගල ගමනක් නොවෙයි. රට ගොඩනැඟීමට සිටින උගත්, බුද්ධිමත්, විශිෂ්ටයන් ඇතුළු හොඳම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේයි. රටේ අසරණභාවයට පත්වුණ දරුවන්, මව්වරු, ආබාධිත ප්‍රජාව, අවදානමකට ලක්වුණ විශාල පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිදු පුද්ගලයෙක් නැහැ. මාතෘභුමියේ හඬක් නැති නිහඬ බහුතරයේ හඬ බවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය පත්වනවා.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයෙන් ජයග්‍රහණය කරන්නේ පවුලක් හෝ පවුලක සමාජිකයන් නොවෙයි. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය පවුල්වාදී දේශපාලනය කරන්නේ නැහැ. රටේ ක්‍රියාත්මක වූ පවුල්වාදී දේශපාලනයට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නැවතීමේ ලකුණ තබනවා.

කඩාවැටුණු දේශය ගොඩගත්ත, ලෝකයේ රටවල් සමඟ ගනුදෙනු කිරීමට හැකි රටේ ජනතාව දිනවූ ස්වර්ණමය යුගය සමගි ජන බලවේග යුගය යන නම්බුනාමය ලබාගැනීම වෙනුවෙන් සිදුකිරීමට හැකි ඉහළම ජනතා සේවය කරනවා.

ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමට කළ හැකි උපරිම කැප කිරීම කරනවා.

නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා –

ජනතාව දුන්න අසීමිත ජනවරම පවාදුන්න නිසා අපට සිදු වුණා හිටපු කඳවුරෙන් බැහැර වෙන්න. අද අපි සිටින කඳවුරු ජනතා අභිලාසයන් රැසක් පෙරටු කරගත් කඳවුරක්. සමගි ජන සන්ධානය ගොඩනැඟී තිබෙන්නේ බංකොලොත් වුණ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සහ සියලුම ජාතීන් එකමුතු කිරීමේ අවශ්‍යතාවෙන්. එමෙන්ම සමගි ජන සන්ධානය ගොඩනැඟී තිබෙන්නේ

දිවයිනේ සිව්දිගම යා කරන පළමු ශ්‍රී ලාංකේය ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ වුවමනාවෙන්. වැටුණු රට ගොඩගැනීමට වීර පරමිතාවක් පුරන මිනිසුන් විදිහට තමයි අපි සමගි ජන සන්ධානය සමඟ එකතු වෙලා සිටින්නේ.

රට හමුවේ තිබෙන අභියෝග ජය ගැනීමට ප්‍රධාන කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනෑ. එම අභියෝග ජය ගැනීමට දක්ෂ නායකත්වයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් තිබිය යුතුයි. එම කරුණු තුන තිබෙන්නේ සමගි ජන සන්ධානයේ පමණයි. ඒ නිසා තමයි නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ ගිවිසුම් ගත වෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහත්තයා මට කිව්වා විශ්වාසය තිබිය යුත්තේ කොළවල නෙවෙයි. විශ්වාසය තිබිය යුත්තේ පපුවේ. කොළේ තිබෙන විශ්වාසයට දීර්ඝායුෂ නෑ කියලා. නිදහස් ජනතා සභාව සමඟ ගිවිසුම් ගතවීමට තීරණය කළේ ඩලස් අලහප්පෙරුම පිළිබඳව තිබෙන විශ්වාසය නිසා කියා සජිත් ප්‍රේමදාස මහතා කීවා.

21 ශතවර්ෂය ඉල්ලන ශ්‍රී ලාංකේය දූ දරුවන් බිහි කිරීමේ අවශ්‍යතාව තිබුණේ ආණ්ඩුවට නෙවෙයි විපක්ෂ නායකතුමන්ට. අවුරුදු දෙකට පාසල් 386කට විපක්ෂ නායකවරයා ගිහින් සුහුරු පන්ති කාමර ලබාදී තිබෙනවා. අවුරුදු දෙකට පාසල් 386කට විපක්ෂ නායකයා ගිහින් කියන්නේ ඔහු දවස් දෙකකට සැරයක් පාසලකට ගිහින් තිබෙනවා. රටේ හිටපු කිසිදු අධ්‍යාපන ඇමැතිවරයෙක්වත් මේ ආකාරයට රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරලා නෑ.

ප්‍රජාත්ත්‍රවාදය අර්බුදයට ලක්වෙලා තිබෙන වෙලාවක, ආර්ථිකය ගොඩගත යුතු අවස්ථාවේ ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරගැනීමයි.

දෙවන, තුන්වන මනාප ගණන් කරන්න අවශ්‍ය නෑ. සැප්තැම්බර් 22 මහපොළොවට හිරු පායන්නේ එකම පක්ෂයකට, ආගමකට, ජාතියකට, කණ්ඩායමකට, කල්ලියකට, පවුලකට අයිති නැති සජිත් ජනාධිපතිවරයා ලෙස පත් කරමිනි.”

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා –

ජනතාවගේ වුවමනා ඉටු වන එකම සන්ධානය සමගි ජන සන්ධානය පමණයි. ඒ නිසා තමයි අපි සමගි ජන සන්ධානය සමඟ එකතු වුණේ. සියලුම ආගම්වලට, සියලුම ජාතීන්වලට එකට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් සජිත් ප්‍රේමදාස මහත්තයා හදා දීලා තිබෙනවා. රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට හැකි එකම විසඳුම තිබෙන්නේ සමගි ජන සන්ධානයේ පමණයි. රටේ දුප්පත් අහිංසක ජනතාව කවදාවත් සජිත් ප්‍රේමදාස මහතා අමතක කරන්නේ නෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා-

රටේ සියලු දෙනාගේම ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා. අපේ ජනාධිපති කියා කියන්න පුළුවන් එකම නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගිවිසුම් ගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය නිවැරදි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් සියලුම දෙනා පැවසුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ මිනිස්සු සියලු දෙනා එකතු වෙලා සජිත් ප්‍රේමදාස මහතා 2019 ගත් ලක්ෂ 55ක ඡන්ද ප්‍රමාණය මෙවර ලක්ෂ 70ක් බවට පත් කරන්න කටයුතු කරනවායිද පැවසීය.”

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website