සිකුරාදා, 09 අගෝස්තු 2024 09:42

එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති Featured

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න

එක එක්කෙනාට අවශ්‍ය ආණ්ඩු හැදුවා දැන් ඇති. දැන් ජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා හෝමාගම කහතුඩුව ඉකුත්දා (06) පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය. ඒ මහතා එහිදී මෙසේද කීවේය.

අවුරුදු 76ක් දුක්විඳ රටක් බලාපොරොත්තු වන ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් අපි කවුරුත් ඉදිරි කාලයේදී ජයග්‍රාහීව වැඩ කරමු කියා මුලින්ම ඉල්ලනවා. මේ ජනාධිපතිවරණය වැළැක්වීමට දැමූ ආරක්ෂක වළලු සියල්ල කඩා අවසන් කර සැප්තැම්බර් 21දා ජනතාවගේ සැබෑ පාලනයක් පිහිටුවීම ආරම්භ කරනවා. එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති. දැන් ජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. ජන සහභාගිත්ව සංවර්ධනයකට මුල පුරන්නේ ඒ ජයග්‍රහණයෙන් පසුවයි. මේ රට විනාශ කළ, පක්ෂ වගේම නායකයෝත් කෑලි කෑලිවලට බෙදිලා නන්නත්තාර වෙලා ඉන්නේ.

සජිත්ගේ පක්ෂයේ සභාපති එල්ල කරන චෝදනා සුළුපටු ඒවා නොවෙයි. අපේ නායකයාට කටයි, බඩයි විතරයි තිබෙන්නේ රටක් කරන්න නම් බැහැ කියා රාජිත සේනාරත්න කියා තිබෙනවා. ඒ අතර ජාතික ජන බලවේගය රට පුරාම මහා සංඝරත්නය ප්‍රමුඛ කරගෙන කාන්තා, තරුණ වගේම වෘත්තිකයන් සංවිධාන කරමින් ජනතාව ඉදිරියට පැමිණ දේශපාලන අවබෝධය දෙමින් බලය ලබාගන්න දින ගණන් කරමින් සිටිනවා. ගුරු සමුළුව, හෙද සමුළුව වගේම විශ්‍රාමික හමුදා සමුළුව සාර්ථකව පැවැත්වීම ගැන සතුරන් කලබල වී සිටිනවා. හෙද සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම ගැන සතුරා විවිධ ප්‍රචාර යැව්වත් මැතිවරණ කොමිසම වෘත්තීය සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම නීති විරෝධී නොවන බව පැවසුවා. ඒ අය නිල ඇඳුමෙන් පැමිණියේ නැත්නම් සතුරන් කියන්නේ ඔවුන් හෙද හෙදියන් නොවෙයි කියලා. සමන් රත්නප්‍රියලාගේ වෘත්තීය සමිති ඉවරයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වන විට මැතිවරණය වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වෙන්න ආපසු එමින් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂට 2019 ඡන්දය දුන්නාට වඩා වැඩි පිරිසක් එන බව විශ්වාසයි. මෙතැනට ඇවිත් ඉන්න පිරිසට වඩා වැඩි පිරිසක් පිටින් ඉඳලා මේ මොහොතේ මාලිමාව ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් සිටිනවා. මේ පාර එන්නේ ලංකා ඉතිහාසය උඩුයටිකුරු කරවන විශිෂ්ට ජයග්‍රහණයක්. ගෝල්ෆේස් අරගලයට ගිය ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කමක් කරන්න, ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකට එකම සුදුස්සා හැටියට ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. මම පාර්ලිමේන්තුවේ හිටිය කාලයේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 196ක් සාමාන්‍ය පෙළ ෆේල්.

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා මදි. පළමුවෙනි කැබිනට් එකටම යෝජනාවක් ඉදිරිපත් කරනවා, ජනතාවට නැති වරප්‍රසාද දේශපාලනඥයන්ටත් අහිමි කරන්න. මේ වැඩේ සජිත්ලාට කරන්න බැහැ. වෙන කිසිකෙනෙකුට කරන්නත් බැහැ. උන්ට සැප විඳින්න හදාගෙන තිබෙන නීති සියල්ල අපි අහෝසි කරනවා. මේ මඟින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට පමණක් වැය කෙරෙන රුපියල් ලක්ෂ 1100ක් ඉතිරි කරගන්නවා. මේ රටේ පවතින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් රට ගොඩනැඟීම ආරම්භ කරනවා.

ඔබ කවුරුත් අහලා ඇති වසරක් පාසා නව නිර්මාණකරුවන්ගේ තරග ජාතික මට්ටමෙන් ති‍ෙයනවා. ලෝකයේත් එහෙම කරනවා. අමෙරිකාවේ වාර්ෂිකව නව නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වනවා. අමෙරිකාවේ නාසා ආයතනය මේ නව නිර්මාණ සම්බන්ධයෙන් තරගයක් පවත්වා හොඳම නිර්මාණය තෝරා ගන්නවා. අනුරාධපුරයේ ගලෙන්බිඳුණුවැව කපුගේ කියන තරුණයා නියර රැහීම සහ නියර බැඳීම වෙනුවෙන් නිර්මාණය කළ උපකරණය ලෝකයේම පිළිගත් නව නිර්මාණයක් හැටියට නාසා ආයතනය තෝරා ගත්තා. එය නිර්මාණය කළ තරුණයාගේ නමින් සෞරග්‍රහ මණ්ඩලයේ තාරකාවක් පවා “කපුගේ” කියා නම් කළා. නමුත් අදත් ඒ තරුණයා ගැරේජ් එකක වැඩ කරනවා. රටක් ගොඩගන්නේ කොහොමද? මේ පාලකයන්ට කිසිම අදහසක් නැහැ.

මේ රටේ ගැටුම් නැති ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ගොඩනඟන්න ඕනෑ. රටක දියුණුවට භෞතික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍යයි. මංමාවත්, ගොඩනැඟිලි, ජලාශ, ඇළ මාර්ග, විදුලිය ලබාදීම, විදුලි සංදේශ වගේ දේවල් භෞතික සංවර්ධනයට අදාළයි. ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සමගිය, ආගමික සංහිඳියාව, කරුණාව, මෛත්‍රිය මනුස්සකම අදාළයි.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website