සදුදා, 19 අගෝස්තු 2024 12:22

ඡන්දදායකයකු වෙනුවෙන් අවම වියදම් ගැසට්ටුවක් එයි Featured

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඡන්දදායකයකු වෙනුවෙන් දැරිය යුතු වියදම් ප්‍රමාණය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් බොහෝ දුරට අද (19දා) නිකුත් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ ප්‍රචාරක වියදම් අවම කිරීමේ පනතේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මෙම වියදම් මුදල සකස් කළ බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

පනතට අනුව ජනාධිපතිවරණය නිමවී දින 20ක් ඇතුළත අපේක්ෂකයන් විසින් තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් දරන ලද වියදම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දියයුතු වෙයි.

ඉන්පසුව කොමිසම විසින් එම වියදම් ලේඛනය ප්‍රසිද්ධ කරනු ලැබේ.

ජනපති අපේක්ෂකයන් සිය ප්‍රචාරණ ව්‍යාපාරය තුළ දැරිය යුතු අවම මුදල පිළිබඳව පනතේ නියමයන්ට අදාළව තීරණය කර දැනුම් දෙන බව මැතිවරණ කොමිසම පක්ෂ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී අපේක්ෂකයකු විසින් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය යුතු අවම මුදල පිළිබඳව මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර ඉකුත් 16දා පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇත.

මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සිකුරාදා පෙරවරුවේ පැවැත්විණි.

අපේක්ෂකයකු මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් දෙසීයත් තුන්සීයත් අතර මුදලක් තීරණය විය යුතු බවට ඇතැම් පක්ෂ මෙහිදී ඉල්ලා සිටි බව පක්ෂ නියෝජිතයෙක් පැවසීය.

මෙවර මැතිවරණයේදී ඡන්දදායකයෝ 1,70,40,352ක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමා කිරීමේ පනත මෙම ජනාධිපතිවරණයේ සිට ක්‍රියාත්මක අතර නියම කරන මුදලට වඩා අපේක්ෂකයා වියදම් කළහොත් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසියන්ට හැකියාව හිමිවෙයි.

මැතිවරණ කොමිසම අදාළ අවම මුදල ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රනිල් ධර්මසේන

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website