ඉරිදා, 08 සැප්තැම්බර් 2024 09:47

හදවත පොරොත්තුවේ ජීවිත අවදානමේ Featured

කොළඹ ජාතික රෝහලේදී හදවත් සැත්කම් සිදුකළ යුතු රෝගීන් පන්දහසකට ආසන්න පිරිසක් 2028 වසර දක්වා පොරොත්තු ලේඛනවල සිරවීමෙන් විශාල පිරිසකගේ ජීවිත අවදානමට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ජාතික රෝහලේ ප්‍රධාන වාට්ටු පහක හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදු කිරීමට නියමිතව ඇති මෙම සැත්කම් සඳහා මෙලෙස කල්ගත වීම හේතුවෙන් බොහෝ රෝගීන් මිය යෑමේ සම්භාවිතාව ඉහළ අගයක පවතින බව විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට ප්‍රකාශ කළේය.

හදවත් සැත්කම් සිදු කිරීම සඳහා පවතින පෝළිම අවසන් කිරීම සඳහා අවම වශයෙන් වසර හතරකට ආසන්න කාලයක් ගත වන බවත් මෙවැනි කාලයක් ගත වුවහොත් රෝගීන් රැසකට ජීවිත අහිමිවිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය.

පවතින තත්ත්වය යටතේ හදවත් රෝගීන් සැත්කම් සිදුකර ගැනීම සඳහා පෞද්ගලික අංශයට යොමුවීමේදී ඔවුන්ට දැරිය නොහැකි විශාල මුදලක් ගෙවීමට සිදුවන බැවින්, රජය පොරොත්තු ලේඛනයෙන් තෝරාගත්, ක්ෂණිකව ශල්‍යකර්ම සිදුකළ යුතුව ඇති රෝගීන්ට රජයේ ආධාර යටතේ පෞද්ගලික අංශයෙන් ශල්‍යකර්ම සිදුකරවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාර සහාය ලබාදිය යුතු බවද වෛද්‍යවරයා කීය.

එසේ නොමැති නම් විශේෂ රෝග සඳහා බල පැවැත්වෙන පරිදි වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ජනතාවට හඳුන්වා දීමට ක්‍රියාකිරීම ද මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණයක් වනු ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

සුජීව තත්සර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website