සිකුරාදා, 03 මාර්තු 2023 09:47

කාපට් මාර්ග මිල අධිකයි.. තාර, කළු ගල් නැතිව ලාබ මාර්ග හදන්න බන්දුලගෙන් උපදෙස්.. Featured

වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂණයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ රත්මලාන පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පර්යේෂණ හා සංවර්ධන අංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ දීය.
එහිදී දැනට ශ්‍රී ලංකාව තුළ පවතින මාර්ග නිසි ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා හා පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සමගද එකඟතාවයකින් යුතුව ජාතික වශයෙන් ක්‍රියාත්මක වන නිසි ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යරයා විසින් අවධාරණය කළේය.

මෙම කාර්යය සඳහා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වල ඒකාබද්ධ එකඟතාවකින් යුතු වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ආයතනය තුළ සිදු කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් පෞද්ගලික අංශයේ වෘත්තිකයින්ටද අවශ්‍ය පුහුණුව සමඟ ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් (NVQ) ලබා දිය හැකි ආකාරයේ පහසුකම් ආයතනය තුළ ස්ථාපිත කිරීම තුළින් ආයතනය පිළිබඳව ජාතික මට්ටමේ පිළිගැනීමක්‌ හා නව ආදායම් උත්පාදන මාර්ගයක්ද බිහි කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී දැනට මෙරට මාර්ග ඉදිකිරීම සහ අලුත් වැඩියාව සඳහා භාවිතා කෙරෙන ගල් කුඩු, තාර, කාපට් ආදිය යොදා ගනිමින් සිදුකෙරෙන ක්‍රමවේදයට විකල්පයක් ලෙස කලු ගල් හා ඒ බී සී භාවිතයෙන් තොරව පිහිටි පොළොව ශක්තිමත් කරමින් මාර්ග ඉදිකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.

එහිදී දැනට භාවිතා කෙරෙන ක්‍රමවේදයන් හා ඉදිරිපත්ව ඇති මෙම අඩු වියදම් ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගිකව සොයා බලමින් එහි ඵලදායි තත්වය පිළිබඳව පරීක්ෂාකර ඉදිරි කටයුතු කිරීමට කමිටුවක් පත් කරමින් කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශ කළේය.

මෙහිදී මෙම නව අත්හදා බැලීම් සඳහා ආදර්ශ මාර්ගයක් ලෙස කොට්ටාව – මොරගහහේන මාර්ගය යොදා ගනිමින් පරීක්ෂාවක් සිදුකර එහි යෝග්‍යතාවය පරික්ෂා කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් මූල්‍ය වශයෙන් අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවේ අඩු වියදම් ක්‍රමවේදයන් පිළිබඳව ඉදිරිපත් වන යෝජනා පවතී නම් එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම මෙම අවස්ථාවේ ඉතාමත් කාලෝචිත බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

– Media unit

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website